ලංකාවේ සෑම තැනකම පශු වෛද්‍ය සේවාව බහුලව තිබුණත්, ජනතාවට සහන මිලකට මෙන්ම පූර්ණ වගකීමක් සහිතව තම සේවාව ඉටු කර ගැනීම සදහා, අවශ්‍ය රාජ්‍ය පශු රෝහල් වල හිගයක් පවතී.
එබැවින් ඉදිරි වසර කිහිපය තුල ලංකාවේ සෑම පළාතකටම පශු රෝහලක් ඉදි කිරීම සිය එක් අරමුණක් බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසුවේය. ගැටබේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මධ්‍යම පලාත් අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වර්තමානයේ කිරි නිෂ්පාදනය අතින් ඉහලම තැනක සිටින මධ්‍යම පළාත තුළ දියර කිරි නිෂ්පාදනය තව තවත් වර්ධනය කර ගැනිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡා කිරීමේ අරමුණෙන් එම පළාත තුළ වෙසෙන පශු සම්පත් ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් සමග මෙම හමුව පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් පශු වෛද්‍යවරුන් පවසා සිටියේ දීර්ග කාලයක සිට මහනුවර ප්‍රදේශයට ඉමහත් සේවයක් සැලසූ පශු රෝහල පසුගිය කොරෝනා සමයේදී ද ඉතාමත් සහන මිලකට ප්‍රදෙශයේ ජනතාවට ඔවුන්ගේ සතුන් වෙනුවෙන් තම සේවය සැලසූ බවයි.
මේ හේතුවෙන් සත්ව රෝහල ඉමහත් ජනප්‍රියත්වයටද පත්වී ඇති අතර කොරෝනා සමයේදී විශාල ආදායමක් ද රජයට අත් කර දී තිබේ. එම නිසා දිවයිනේ සෑම පලාතකම රජයේ පශු රෝහල් ඇති කිරීම මගින් රජයට විශාල ආදායමක් ද ලබා ගත හැකි බව ඔවුන් පෙන්වා දෙන ලදී.
මේ පිලිබද සාකච්ඡාවෙන් පසු දිවයිනේ සෑම පලාතකම රජයේ පශු රෝහලක් ඉදිකිරීමේ ඇති හැකියාව පිලිබදව සොයා බලන ලෙස අමාත්‍යවරයා ඔවුන් වෙත පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.සේනානායක , අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ, ස.නි.හා සෞ.දෙපර්තමේන්තුවේ අධක්ෂ ජනරාල් වෛද්‍ය රංජනි ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.