ඒ අනුව සෑම පුද්ගලයෙකුටම මෙම රජය සහ ජනාධිපතිවරයා සමත් ද යන්න ඉදිරියේ දී දැකගත හැකිවනු ඇති බව කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Zoom ඔස්සේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යව්දියෙකු විසින් මුහුණුපොතේ සඳහන් වන ආකාරයට රජය අසමත් ද, ජනාධිපතිවරයා අසමත් ද යන්න කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කිරීමෙන් පසුව මහා මැතිවරණය දක්වා ගත වූ කාලය තුළ ඉතාමත් විශිෂ්ට ලෙස ජනාධිපතිරවයාගේ වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක වූ බවත්, ඊට හොදම උදාහරණය වන්නේ මෙරටේ පෙර නොවූ විරු දැවැන්ත ජනතා බලයක් සමඟ තුනෙන් දෙකක වරමක් ජනතාව විසින් ලබා දීම බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.
කෙසේවුව ද, පළමු කොරෝනා ව්‍යාප්තියේ දී මෙරට ඇරඹීමත් සමඟ ඉතාම විශිෂ්ට ලෙස මෙරට සෞඛ්‍ය, ආර්ථික සහ ආරක්ෂක ක්‍රමවේදයන් අර්බුදකාරී කාලයක් හමුවේ කළමනාකරණය කර ගැනීමට සමත් වූ ජනාධිපතිවරයෙකු වූ බව ද, දෙවන කොරෝනා අවධියේ දී වෛරසයේ ඇති වූ වෙනස්කම් සහ රෝග ව්‍යාප්තියේ ප්‍රවණතාවයත් සමඟ එය පාලනය කිරීමේ දී සෞඛ්‍ය අංශයේ සියලුදෙනාගේ දායකත්වය ලබා ගනිමින් සිටින අවස්ථාවක පටු දේශපාලන වාසි අරමුණු කරගනිමින් විරුද්ධ පක්ෂය කටයුතු කරමින් සිටින බව ද මෙහි දී රමේෂ් පතිරණ මහතා විසින් පෙන්වා දුන්නේය.
එමෙන්ම, 2015 යහපාලන ආණ්ඩුව විසින් බලයට පත් වූ දා සිටම පෙර රජයන් විවේචනය කරමින් සිටිය ද, වත්මන් රජය බලයට පත් වූ දා සිටම පෙර රජයන් විවේචන කිරීමෙන් තොරව රජයක් ලෙස කළ යුතු දේ වගකීම් සහගතව කටයුතු කරමින් සිටින බවත්, ලංකා ඉතිහාසයේ පළමුවතාවට බලයේ සිටින කණ්ඩායමෙන් පළාත් පාලන ආයතන බැහැර වූ කණ්ඩායම වූ පළමු වතාව බවට විපක්ෂයට මුහුණ දීමට සිදුව ඇති බවත්, එමඟින් අසමත් රජය ද, ජනාධිපතිවරයා ද, විපක්ෂය ද යන්න ජනතාවට මොනවට තේරුම් යන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ඒ සම්බන්ධව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.