මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    "සියපත" නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 20, 2020

    ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "සියපත" නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය, මරදගහමුල, වැවේගොඩැල්ල භූමියේ දී පැවැත්විණි.

    මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 5 කින් සහ නිවාස 100 කින් සමන්විතය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අතිගරු අග්‍රාමාත්‍ය සහ නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  උපදෙස් මත මෙය ක්‍රියාත්මකය.
    මීට සමගාමීව මෙම නිවාස ව්‍යාපෘතිය පළාත් 9 තුළම ආරම්භ විය. ඉදිරියේදී මෙම වැඩසටහන මැතිවරණ කොට්ටාශ 160 තුළම ක්‍රියාත්මක වන අතර, මෙම වැඩසටහන යටතේ ඉදිවන සමස්ත නිවාස ගණන 16,000 කි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ඡන්ම දිනය සැමරීම වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ජයග්‍රහකයින් 16 දෙනෙකු සඳහා රුපියල් කෝටි 75 ක පමණ ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

    ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගෙන එන ‘සෙවණ’ නව ලොතරැයිපත සංකේතාත්මකව මෙහිදී එළිදැක්විය.

    පසුගිය රජය වසර හතර හමාරක් තුළ විනාශ මුඛය කරා ගෙන ගිය මේ රට ගොඩ ගන්නට හැකි අරමුණු මුදුන් පත්කරන අයවැයක් අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉදිරිපත් කළ බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා උත්සවසභාව අමතමින් ප්‍රකාශ කළේ ය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ගරු අග්‍රාමාත්‍යතුමනී, මේ වසර තුළ ලබා ගත් අත්දැකීම් සමඟ ඔබතුමන් නිවාසකරණය ගැන දක්වන උනන්දුව, හමුවී සකාච්ඡා කරන සෑම මොහොතකදීම ඔබතුමන් ලබා දුන් අදහස් අද අපට මහ පොළොවේ පැළ කරන්නට හැකි වී තිබෙනවා. ‘ඔබට ගෙයක් - රටට හෙටක්’ වැඩසටහන යටතේ මාස දහයක් වැනි කෙටි කාලයක් තුළ  නිවාස 10,000 ක වැඩ කටයුතු අප ආරම්භ කළා. එහි ඉදිකිරීම් අවසන් වී අද පවුල් 8,000 ක් පමණ ඒ නිවෙස් වල සුවපහසුව ජීවත් වනවා. කොපමණ නිවාස ඉදිකළත් රටේ නිවාස ඉල්ලීම් දවස  දවස ඇති වනවා. කටු මැටි, පොල්අතු නිවාස වල සිටින පිරිස තවම ඒ ආකාරයටම ජීවත් වනවා. නිවැරැදි තොරතුරු ලබාගෙන කටුමැටි සෙවිලි කළ නිවාස වල සිටින සියළු දෙනා යහපත්  පරිසරයක් තුළ නිසි සනීපාරක්ෂක කටයුතු හරියාකාරව තිබෙන උළු සෙවිලි කළ නිවාස වලට ගෙන ඒමට අපට හැකි වුණා. එහි පදිංචි වී සිටින දරුවෝ අද හොදින් ඉගෙන ගනිමින් විභාග  සමත්වනවා. පවුල්වල ආර්ථිකය ඉහළට පැමිණ තිබෙනවා. එම පවුල්වල සෞභාග්‍ය උදාවී තිබෙනවා.

    අතිගරු ජනාධිපතිතුමන් බලාපොරොත්තු වූ ඒ අදහස ක්‍රියාත්මක කිරීමට ගරු අග්‍රමාත්‍යතුමන් අපට වගකීම් පවරා තිබෙනවා. පැල්පත්ලාභීන්ට නිවාස ඉදිවනවා, මැදි ආදායම්ලාභින්ට කුමක්ද  වන්නේ ඔවුන් වෙනුවෙන් ගෙන එන ව්‍යාපෘතිය කුමක්ද? භූමිය ඉතිරි කර ගනිමින් ගම්වලට තට්ටු නිවාස ගෙන එන්න බැරිද යන වග අගමැතිතුමන් මගෙන් විමසා සිටියා. පසුව මේ  සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, ආයතන සභාපතිවරු සමඟ සාකච්ඡා කළා. ඒ අනුවයි අපගේ සම්පත්, අපගේ ඉඩමක් යොදා ගනිමින් අද අප මේ ව්‍යාපෘතිය  ආරම්භ කරන්නේ.

    මීට සමගාමීව පළාත් නවයෙම මේ මොහොතේ මහල් පහකින් සමන්විත හා නිවාස 100 කින් යුත්ත මහල් නිවාස සංකීර්ණයක් ආරම්භ වනවා. ලබන වසර අවසන් වීමට පෙර මැතිවරණ  කොට්ඨාශ 160 තුළ නිවාස 16,000 ක් ඉදිකිරීමට අප කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය නිර්මාණ හා නීතිගත සංස්ථාව මෙහි කටයුතු සිදු කිරීමට යොදාගෙන  තිබෙනවා. අගමැතිතුමනි, ඔබතුමා අයවැය කතාව තුළ කියා සිටියා මෙවැනි ආයතන වලට ව්‍යාපෘති ලබා දීමත්, සංවර්ධන ව්‍යාපෘතිසේම එහි අඩුපාඩුකම් සොයා ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන අයවැය  තුළින් අපට ගෙන යන්නට පුළුවන් කියා.

    මාර්ග වලට තරම් සෞඛ්‍යයට මේ අයවැය තුළින් මුකුත් නැහැ නේද කියා විපක්ෂය කැමරාව ඉදිරිපිටදී පවසනවා. විපක්ෂයට කියන්නට ඕනෑ තරම් කතන්දර තියෙනවා. විපක්ෂය කුමක් කීවත්  මේ අයවැය තුළ සුවිශේෂී අවස්ථාවක් අප දකිනවා. වසර හතර හමාරක් විනාශ කළ රට ගොඩ ගන්නට අරමුණු මුදුන් පත්කරන වැඩ පිළිවෙලක් මේ අයවැය තුළ ගැබ් වෙලා තිබෙනවා. ආර්ථිකය  කළමනාකරණය කර ගනිමින් දේශියත්වය ආරක්ෂා කර ගනිමින් දේශිය කෘෂිකර්මාන්තය, දේශීය කර්මාන්තකරුවන් වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල ඉඩකඩක් මේ තුළ විවර කර තිබෙනවා.  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තුළ සිටින අමාත්‍යාංශයක් ලෙස අපි ඒ වගකීම ඉටු කරනවා.

    සිහින සැබෑ වනවාට මිනිස්සු හරි කැමැතියි. මෙරට ජනතාවගේ සිහින සැබෑ වීම ආරම්භ වූයේ 2005 වසරින් පසුවයි. මෙරට පැවැති යුද්ධය අවසන් වන්නේ කවදාදා කියා ජනතාව සතුව හීනයක්  තිබුණා. එම හීනය, හීනයක් පමණක් වන්නට නොදී 2009 වසරේදී යුද්ධය අවසන් කර එය සැබෑ කර දුන්නා. අධිවේගී මාර්ගවල යන්න හීනයක් වෙයි කියා ජනතාව සිතුවා. මිනිස්සුන්ට ඒ  අයිතිවාසිකම ලබා දුන්නා. වරාය, ගුවන්තොටුපල, රේල් පාරවල් සුද්දා හදලා ගියා, මේ රටේ දේශපාලඥයින්ට ඕවා කරන්න නොහැකි යැයි පැවැසුවා. ගරු අග්‍රමාත්‍යතුමන් ඒ හීන සැබෑ කරලා  දුන්නා. 2015 පසු පත් වූ ආණ්ඩුව හීනෙකින්වත් හිතන්න බැරි දේවල් සිදු කළා. මහ බැංකුව කැඩුවා. බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් දේශපාලඥයෝ ජෝගී නටයි කියලා මෙරට ජනතාව  සිතුවේ නැහැ. හීනයකින්වත් නොසිතු ලෙස එය පසුගිය ආණ්ඩුව සිදුකළා. බදු මුදල් එකතු කර ඉදිකළ වරාය වෙනත් රටවල් සමඟ ගිවිසුම්ගත වී වෙනත් රටවලට ලබා දෙයි කියා හීනයකින්වත්  සිතුවේ නැහැ.

    ගරු අග්‍රාමාත්‍යතුමනී, අපට එදා වගේම අදත් ඔබතුමා සද්ධන්තයෙක්, ශක්තිවන්තයෙක්. ඔබට හැකියාවන්, දක්ෂතාවයන්, උවමනාවන් තිබෙන මිනිස්සුන්ට අවශ්‍ය දේ ළගට ගොස් ලබා  දෙන්නට හැකි නායකයෙක්. වත්මන් ජනාධිපතිතුමන්ට විශාල සේනාවක් එකතු කර දුන්නේ ඔබතුමයි. මේ සුසන්යෝගය තුළින් ඉදිරි වසර හතර හමාර අපගේ ලේකම්වරුන්ට, සභාපතිවරුන්ට,  ආයතන වල සිටින රාජ්‍ය සේවකයින්ට දේශපාලඥයින්ට ඔබතුමා 2005 සිට ගෙන ආ රට පටන් ඒ අයුරින්ම ගෙන යාමට නොහැකි නම් වැඩක් නැහැ. සමහර තැන්වල කතාවෙනවා නිලධාරීන්ට වැඩ කරන්නට දෙන්නේ නැහැ. දේශපාලඥයෝ වැඩ කරන්නේ නැහැ කියා. දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට බැන බැන  සමාජය ගතවෙනවා. නමුත් ඔවුන් එකතු වී කටයුතු කළ නිසයි මේ රට කොවිඩ් අනතුරින් මේතාක් දුරට ගලවගෙන තියෙන්නේ. ඔබතුමාව අද මේ ස්ථානයට ගෙන ආවේ තියපු මුල්ගල් පැල  කරන්නට නොවෙයි. ඔබතුමා තියපු කිසිදු මුල්ගලක් පැල වුණේ නැහැ. ඒ සෑම දෙයක්ම අද ජනතාව භුක්ති විදිනවා. පසුගිය සාපරාධි කාලය තුළ ගොඩක් මුල්ගල් තියා ගියා ඒවා සියල්ල පැළ  වුණා.” යනුවෙන්ද පැවැසීය.


    මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මිලාන් ජයතිලක, උපුල් රාජපක්ෂ, නලීන් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප් යන  මහත්ම මහත්මීහූද, අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya