මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    අගමැති ප්‍රධානත්වයෙන් හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයේ මෙතෙක් විශාලම අයෝජන ගිවිසුමට අත්සන් තබයි

    නොවැම්බර් 20, 2020

    ලොව ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන සමාගමක්වන චීනයේ ෂැන්ඩොං හහෝවා ටයර් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරමින් හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයේ  ආරම්භ කරන කර්මාන්තශාලාවේ ගිවිසුම්ගතවීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 19 දින සිදුවිය.


    කොළඹ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට මෙම ගිවිසුම්ගතවීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය  නාමල් රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චි ශෙන්හොං මැතිතුමා එක්ව සිටියහ.


    ෂැන්ඩොං සමාගම විසින් මෙම කර්මාන්තශාලාව තුළ අර්ධ වානේ රේඩියල් ටයර් සහ ට්‍රක් රථ, බස් රථ සහ මඟී මෝටර් රථ සඳහා අවශ්‍ය සියලුම වානේ රේඩියල් ටයර් නිෂ්පාදනය කරනු ඇත. ගිවිසුමට අනුව වසර 03 ක් තුළ මෙහි නිෂ්පාදිත ටයර් අපනයනය ආරම්භ කිරීමට නියමිතය.

    ෂැන්ඩොං කර්මාන්ත ශාලාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ කාර්මික උද්‍යානයේ අක්කර 121 ක භූමි භාගයක පිහිටා තිබෙන අතර ව්‍යාපෘතියේ පළමු අදියරේදී සමාගම විසින් වාර්ෂිකව  ටයර් මිලියන 9 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.
    ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා සහ ෂැංඩොං වෙනුවෙන් කාවෝ මින්ෂැං (Cao Mingzhang) මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ. අදාළ ගිවිසුමට අනුව යෝජිත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාවනු ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 300ක සෘජු අයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලාංකිකයින්  2000 කට සෘජු රැකියා අවස්ථා උත්පාදනය කරයි.
    මෙම ව්‍යාපෘතියට අදාළව රැකියා පුහුණුව සඳහා ශ්‍රී ලාංකිකයන් 300ක් පමණ චීනයට යැවීමට ෂැංඩොං සමාගම අදහස් කර තිබේ. ඒ අනුව දෙරට අතර තාක්ෂණික කුසලතා දැනුම් හුවමාරුවක්ද  අපේක්ෂා කරයි.
    මෙම ගිවිසුම්ගතවීම ඓතිහාසික වැදගත්කමක් දරන බවත් මීට වසර 15කට පමණ පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2005 මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව හම්බන්තොට  ජාත්‍යන්තර වරාය රටේ තවත් ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ දැක්ම මෙමගින් සඵලවන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා මෙහිදී පැවසීය. අද වන විට ශ්‍රී ලංකාවේ රබර් වගාව හෙක්ටයාර 136,000කින් සමන්විත අතර මෙම නව කර්මාන්ත ශාලාව පිහිටුවීමත් සමඟ රැකියාවන්වලට අමතරව රබර් වගාවෙහි නිරතවන්නන්ට සහ රබර්  කිරි කැපීමේ ප්‍රජාව දක්වාම ආර්ථික වාසි අත්වනු ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.

     

    පසුගිය වසරේදී රබර් සහ රබර් මත පදනම් වූ නිෂ්පාදනවල අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 900 කට ආසන්න බව පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, 2024 වන විට  එම මුදල බිලියන 4 කට වඩා වැඩි කිරීම රජයේ බලාපොරෝතුව යැයි පෙන්වා දුන්නේය.
    මෙම පසුබිම තුළ, චීනයේ විශාලතම පුද්ගලික ටයර් නිෂ්පාදකයින්ගෙන් එකක් වන ෂැන්ඩොං හහෝවා ටයර් සමාගම වැනි ආයතනයක් ශ්‍රී ලංකාව ආයෝජන හවුල්කරුවෙකු ලෙස තෝරා  ගැනීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාවට ගෞරවයක් බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මැතිතුමා, එය ලොව පුරා පාරිභෝගිකයින් සඳහා විශ්වාසදායක සන්නාමයක් බව ඔප්පු වී ඇති බවද කියා  සිටියේය.

    ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙය හොඳ ආරම්භයක් බව තමන් විශ්වාස කරන බව පැවසූ නාමල් රාජපක්ෂ මැතිතුමා, රජයේ ප්‍රධාන ප්‍රමුඛතා වලින් එකක් වන්නේ  අපනයන අරමුණු කරගත් ව්‍යාපාර සංවර්ධනය කිරීම යැයි සඳහන් කළේය.
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ ශ්‍රි ලංකාවේ චීන තානාපති චි ශෙන්හොං මහතා හම්බන්තොට කාර්මික උද්‍යානයේ ආරම්භ කරන පළමු චීන ව්‍යාපෘතිය මෙය බව පෙන්වා දුන්නේය. ෂැන්ඩොං හාවෝවා ටයර් සමාගම හම්බන්තොට ආයෝජනය කිරීමට තෝරා ගැනීම චීන සමාගම්වලට ශ්‍රී ලංකාවේ විශ්වාසය පිළිබිඹු කරන අතර හම්බන්තොට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට  දීප්තිමත් අනාගතයක් ඇති බවට ජාත්‍යන්තර ආයෝජකයින්ට ප්‍රභල සංඥාවක් බව තානාපති චි ශෙන්හොං මහතා විශ්වාසය පළ කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා හොද හිත සහ අනොන්‍ය බැදීම ආර්ථික හා වෙළඳ සහයීගිතාවයේදී නිසැකවම විශාල ජයග්‍රහණ අත්කරදෙනු ඇතැයි තානාපති චි ශෙන්හොං මහතා කියා  සිටියේය.
    ෂැංඩොං හහෝවා සමාගමේ සභාපති යැං කෙකියැංග් මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට මාර්ගගත විඩීයෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya