අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිති කොට ගෙන වෙරළ පිරිසිදු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් නොගැඹුරු මුහුදු ප්‍රදේශය පිරිසිදු කිරීම ඒ අතරින් එක් වැඩසටහනක් බවත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ලබාදෙන උපදෙස් අනුව රටපුරා වෙරළ තිරය සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරගෙන යන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය ප්‍රකාශ කරයි.
ඒ අනුව පසුගිය දා ගල්කිස්ස වෙරළ සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ජලය යට පවතින අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කිරීමට හැකි වී ඇත.නාවික සැතපුම් 02 කට ආසන්න ප්‍රමාණයක මුහුදු ජලය යට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරුණේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.
ශ්‍රී ලංකාව වටා තිබෙන වෙරළ තීරයේ දිග කිලෝ මීටර් 1,700 කි. වෙරළ තීරය සහ සාගරය අපවිත්‍ර වීම සඳහා කැළි කසල බැහැර කිරීම වැඩිපුරම සිදුකෙරෙන්නේ රට අභ්‍යන්තරයෙන් බවත් වෙරළ කළාපයේ ජීවත්වන පිරිස් වෙතින් වෙරළ තීරය අපිරිසිදු වන්නේ ඉතා අඩුවෙන් බවටත් සමීක්ෂණයක දී හෙළි වී තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.
එම සමීක්ෂණය අනුව හෙළි වී ඇත්තේ වෙරළ තීරය සහ නොගැඹුරු මුහුදු කළාපය අපවිත්‍ර වන කැළි කසලවලින් 80% කට වඩා පැමිණෙන්නේ රට අභ්‍යන්තරයේ සිට මුහුදට එක්වන ගංගා 103 හරහා බවයි.
මෙම අපද්‍රව්‍ය සාගර කළාපයේ මීටර් 15 ක් පමණ ගොඩගැසෙන අතර මේ නිසා සංවේදී කළාපවල මත්ස්‍යයින්ගේ අභිජනන ක්‍රියාවලියට ද බාධා එල්ල විය හැකි නිසා මෙම සංවේදී කළාප ආරක්ෂ කර ගැනීම ඉතා වැදගත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය ප්‍රකාශ කරයි.
“සමුද්‍රීය පරිසර අධිකාරිය මේ වන විට ශ්‍රී ලංකාව පුරාම කඩොලාන පරිසර ආශ්‍රිතව කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘතියක් ද දියත් කරනවා. ඒත් එක්කම සමඟාමීව තමයි මේ වෙරළ තීරය සහ සාගර තීරය පිරිසිදු කිරීමක් සිදු කරන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා කෝවිඞ් තත්වය යටතේ වුණත් පණිවුඩයක් ගෙනයන්න සමාජයට සාගරය සහ වෙරළ තීරය පිරිසිදුව, පවිත්‍රව තබා ගන්නට. අපි කරලා තියෙන සමීක්ෂණවලින් අපිට තේරිලා තියෙනවා මෙම සාගර පරිසරය සහ වෙරළ තීරය අපවිත්‍ර කිරීමට මූලික වශයෙන්ම දායක වෙන්නේ රටේ මැද සිටින ජනතාව. මෙම වෙරළ තීරය අපවිත්‍ර වන, ගොඩගැසෙන කුණුවලින් 80% කට වඩා ප්‍රමාණයක් ගලා ගෙන එන්නේ රට හරහා ගලා ගෙන එන ගංගා 103 හරහා. ඉතින් ඒක නිසා අපිට ඕන දැනුවත් කරන්නට අපේ දරුවන්, තරුණයින්, මහජනතාව මේ සාගරය සහ වෙරළ පිරිසිදු කිරීම සහ එය අප අපවිත්‍ර නොගෙන සිටීමේ කර්තව්‍යයට දායක වෙන්නට. අපි හිතනවා මේක අවස්ථාවක් වෙයි කියලා අපේ ජනතාව දැනුවත් කරන්නට. මොකද අපේ රටේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ නීල ආර්ථිකයක් කරා යන ගමනකට පියවර තබලා තියෙනවා. මේ නීල ආර්ථිකය කියන්නේ අපේ සම්පත් නෙළා ගන්නට අවශ්‍ය වෙන්නේ සාගරයෙන්. නෙලාගන්නට තියෙන සම්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට සාගරයේ. සාගරයෙන් බල ශක්තිය ලබා ගන්න පුළුවන්, ආහාර ලබා ගන්න පුළුවන්, ඖෂධ, ඛනිජ සම්පත්, සංචාරක සහ නාවික ගමනා ගමනය ආදී වු විශාල සම්පත් අපේ ආර්ථිකයකට ලබා ගන්න පුළුවන් මේ වෙරළ කලාපයෙන්. ඉතින් මේ නීල ආර්ථිකයට යන්නට කලින් අපි වෙරළ තීරය සහ සමුද්‍රය පිරිසිදුව තියා ගත්තේ නැත්තං ඒ නීල ආර්ථිකයට යන්න බැරිවෙනවා. දැනටමත් සොයාගෙන තියෙන විදිහට හුඟක් වෙලාවට මෙම සාගරය ආශ්‍රිතව මළ ප්‍රදේශ හමුවෙලා තියෙනවා. ඒක නිසා මේ මළ ප්‍රදේශ නැත්නම් අජීවී ප්‍රදේශ වැඩි වෙන්නට කලින් අපි අද ම ක්‍රියාත්මක වෙලා මේ සාගරය සහ වෙරළ පවිත්‍රව තියාගන්නට සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මෙම වෙරළ තීරය සහ මුහුදු ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.
ගල්කිස්ස මුහුද යට පිරිසිදු කිරීමේ අවස්ථාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නිතීඥ දර්ශනි ලහඳපුර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර යන මහත්ම මහත්මීහු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීහු සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.