මේ සඳහා අවශ්‍ය මූලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ අනුව රත්මලාන ගුවන්තොටුපල දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ යටතේ විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂිතයි. සංචාරක ආකර්ෂණිය ස්ථාන සඳහා නව දේශීය ගුවන් මාර්ග හඳුනාගෙන ඒවා ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කර ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි. කොවිඩ් 19 වසංගතයට පෙර රත්මලාන සහ යාපනය අතර අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකෙරුණි. දැනට නතර වී ඇති එම ගුවන් ගමන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට ද අපේක්ෂිතයි.
රත්මලාන කලාපීය ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම රජයේ තවත් අපේක්ෂාවකි. ජාත්‍යන්තර ගුවන් පුහුණු පාසල් විදේශීය සිසුන් ආකර්ෂණිය කරගත හැකිවන සේ රත්මලාන ගුවන්තොටුපල තුල ආරම්භ කිරීම කෙරෙහි ද සිය අවධානය යොමු කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ගුවන් පුහුණු කටයුතු සඳහා අවශ්‍ය කාර්යාල ඉඩකඩ සහ හැගර් පහසුකම් සැලසීම ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය උපාංග දියුණු කිරීම මේ අනුව සිදුකිරීමට නියමිතයි.
රත්මලාන ගුවන්තොටුපල තුල හදුනාගත් ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂිතයි. එවැනි පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමට මෙම ගුවන්තොටුපල යොදාගත හැකි බව හඳුනාගෙන තිබේ.
ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස රත්මලාන ගුවන්තොටුපල දියුණු කිරීමට ද නියමිතයි. මාලදිවයින ගුවන් සමාගම සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත් ඔවුන් එම ගුවන් ගමන් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටි බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් 19 හේතුවෙන් එම ගුවන් ගමන් ආරම්භ කිරීම තාවකාලිකව නතර වූ බවද සඳහන් කරයි. රත්මලාන ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය සඳහා ගුවන්යානා නැවතුම් සහ නවතා තැබීමේ ගාස්තු වසරක කාලයක් සඳහා ඉවත් කිරීමටත් ගුවන් මගීන්ගෙන් අයකරනු ලබන ගුවන්තොටුල සේවා බද්ද වසරක කාලයක් සදහා අත්හිටුවීමටත් රජය කටයුතු කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.