මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි කලාප කෘෂි සංවර්ධන කටයුතුවලදී පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තීන්දු තීරණ ගන්න- රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්

    දෙසැම්බර් 14, 2020

    මහවැලි කලාප වල කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමේදී, පරිසරයට බලපෑම් එල්ලවෙන කිසිඳු ක්‍රියා මාර්ගයකට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අවතීර්ණ නොවන බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා අවධාරණය කරයි.

     

    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මහවැලි කලාප කෘෂි සංවර්ධන කටයුතු වලදී පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තීන්දු තීරණ ගන්නා ලෙස තමන් නිලධාරීන් ට උපදෙස් ලබා දී ඇති බවයි.

    හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී, විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
    අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, හා පදියතලාව ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ වලට අයත් මහවැලි රඹකැන් ඔය කලාපයේ, ඉඩම් අක්කර 2750 ක් බඩඉරිඟු වගාකිරීම සඳහා, නීත්‍යානුකූල භාවයෙන් තොරව, යොදවා ඇතිබවට, ඇතැම් පරිසර සංවිධාන විසින් කරන ලද චෝදනා වලට පිළිතුරු සැපයීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
    මාධ්‍ය හමුවට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ බඩඉරිඟු වගාකිරීම සඳහා අම්පාර " මහඔය පදියතලාව මහවැලි සංවර්ධන සැලසුම යටතේ අක්කර 5426 ක, භූමි ප්‍රමාණයක් හදුනා ගෙන ඇති බවයි.
    මෙම ඉඩම් කොටස් වනජීවි දෙපාර්තමේන්තුව ට හෝ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ට අයත් නොවන බවත් එම ඉඩම් , මහවැලි අධිකාරිය සතු ඒවා බවත් සිරිපාල ගමලත් මහතා කියා සිටියේ ය.
    එමෙන්ම බඩඉරිඟු වගාකිරීම සඳහා සැලසුම් කර ඇති මෙම ඉඩම් ලඳු කැළෑ සහිත ප්‍රදේශ වන අතර ප්‍රදේශයේ ජනතාව කලක සිට හේන් ගොවිතැන් සිදුකළ ඒවා වන බවද ගමලත් මහතා සඳහන් කළේ ය.
    තවද 2020/11/18 දින මධ්‍යම පරිසර අධිකාරිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව , ඇතුළු සියළු නිලධාරීන් , ප්‍රාදේශීය මහජන නියෝජිතයින් හා ප්‍රදේශයේ ගොවි ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව රඹකැන් ඔය කලාපයේ බඩඉරිඟු වගාකිරීම සඳහා තීරණ වලට එළඹුණු බවද සිරිපාල ගමලත් මහතා පැවැසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා.

    " මෙම වගා සැලැස්ම මඟින් රඹකැන් ඔය ජල පෝෂිත ප්‍රදේශයට කිසිඳු බලපෑමක් ඇති නොවන බව ට, විද්‍ය්ත්මකව හඳුනා ගෙන තිබෙනවා. කෙසේ වුවත් බඩඉරිඟු වගාකිරීමට නියමිත, ඉඩම් තාවකාලික බදු පදනම මත, මෙම වසරේ මහ කන්නයේ වගා කටයුතු වලට පමණක් නිදහස් කර තිබෙනවා., එසේ නිදහස් කර ඇත්තේ ද වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ මාර්ගෝපදේශයන්ට අනුගතවයි. දැනට අක්කර 400 ක් වැනි ප්‍රමාණයක වගා කටයුතු සඳහා බිම් සකස් කිරීම සිදුකර තිබෙනවා. කිසිඳු අවස්ථාවක මෙම ඉඩම් සින්නක්කර පැවැරීමක් කර නැහැ. මහවැලි ය, හැම අවස්ථාවකදීම පරිසරය සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරනවා. මහවැලි කලාප ආශ්‍රිතව කිසියම් පරිසර බලපෑමක් ඇතිවන ආකාරයෙන් කුමන හෝ සංවර්ධන කටයුත්තක් සිදුවෙනවා නම් ඒ ගැන විශේෂ අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. අපි මාධ්‍ය යෙන් ඉල්ලා සිටින්නේ ද කිසියම් මොහොතක , කිසියම් තැනක පරිසර හානියක් හෝ බලපෑමක් වෙනවා නම් වහාම අපිව දැනුවත් කරන්න කියල.
    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ ඉලක්කය වන්නේ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළම නිෂ්පාදනය කර ගැනීමයි.
    ඒ අනුව මේ වන විට ආහාර බෝග වර්ග 16 ක ආනයනය අත්හිටුවා තිබෙනවා. මහවැලි කලාප වල බඩඉරිඟු වගාකිරීමට මහවැලි අධිකාරිය අවතීර්ණ වන්නේ එවැනි පසුබිමකයි. අපේ අරමුණ මහවැලි කලාප වල ගොවි ජනතාව සහ මහ පරිමාණ ආයොජකයින් සමඟ හෙක්ටයාර් 10000 ක, බඩඉරිඟු වගාකිරීමයි. මේක ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ගත් තීරණයක්, වසරකට මෙරට බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් වෙනවා. එයින් අපේ රටේ නිෂ්පාදනය කරන්නෙ මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක හමාරක් පමණයි. ඉතිරි ලක්ෂ දෙක හමාර ආනයනය කරනවා. ඒ සඳහා වසරකට රුපියල් මිලියන 3000 ක් වැය වෙනවා. " යැයිද රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා වැඩිදුරටත් පැවැසීය.
    මෙම මාධ්‍ය හමුව සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව් බී පළුගස්වැව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් එස් පෙරේරා යන මහත්වරු සහභාගි වී සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya