ගොඩ ඉඩම්වල වැලි කැණීම සඳහා නිකුත් කරන බලපත් යොදාගෙන පොල් ඉඩම්වල වැලි හා පස් කැණීමේ ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බැවින් ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව කැණීම් බලපත් නිකුත් නොකිරීම සඳහා ගන්නා ලද තීරණය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
වයඹ පළාතේ පොල් ඉඩම් විනාශ කරමින් සිදුවන වැලි කැණීමේ ජාවාරම නැවැත්වීම සඳහා ගොඩ ඉඩම්වල වැලි හා පස් කැණීමට ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව බලපත්‍ර ලබා දීම වහාම අත්හිටුවිය යුතු බවත්, නිසරු පොල් ඉඩම්වල වුවද, වැලි හා පස් කැණීමට අවසර ඉල්ලන්නේ නම්, හිතා මතා පොල් ඉඩම් නිසරු වීමට ඉඩ හැර ඇත්ද යන්න සොයා බලා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීමේ කාර්යාංශයට උපදෙස් දෙන ලද්දේ වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්කවල මේ අන්දමින් පොල් ඉඩම්වල වැලි කැනීම් නිසා පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශව ගොස් ඇති බව වාර්තා වීම නිසාය.
මෙම තත්ත්වය රටේ වාර්ෂික පොල් ඵලදාව කෙරෙහි ද අයහපත් ලෙස බලපා ඇත. වර්තමානයේ වෙළෙඳ පොලේ පොල් මිල ගණන් ඉහළ යාමට පොල් ඉඩම්වල වැලි කැණීම් ද හේතුවී ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගියදා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වසර විස්සකට වඩා සේවය කළ සේවකයින් 28කට රන් තිළිණ ප්‍රදානය කිරීමේ වාර්ෂික උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ වනවිට වයඹ පළාතේ පමණක් නොව රටේ සෙසු ප්‍රදේශවල ද පොල් ඉඩම් වල වැලි හා පස් කැණිම නිසා පොල් ඉඩම් විනාශ වීමේ තර්ජනයට මුහුණ පා තිබේ. අතිගරු ජනාධිපතිතුමන් විසින් ඛනිජ සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීම සම්බන්ධව පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරියේ දී ලැබීමට නියමිත අතර එම නිර්දේශ ද සැළකිල්ලට ගනිමින් රටේ සියලු ඛනිජ සම්පත් ඵලදායීව හා පරිසරයට අගතියක් නොවන අයුරින් යොදා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇතැම් ප්‍ර දේශවල වැලි හා පස් ජාවාරම්කරුවන් විසින් මහජනතාවගේ ඉඩම් කුනු කොල්ලයට මිල දී ගෙන ඒවායේ වැලි හා පස් ජාවාරම කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් උපයන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පරිසරය වනසමින් සිදු කරන මෙවැනි ක්‍රියා නැවැත්වීමට නම් නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත්, ගොඩ ඉඩම්වල වැලි හා පස් කැණීමට ලබා දෙ බලපත් උපයෝගී කර ගනිමින් පොල්
ඉඩම් වනසන්නේ නම්, එම බලපත් වහාම අහෝසි කරන්නැයි ද අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සභාපති අනුර වල්පොළ යන මහත්වරු ද සහභාගි වුහ.