මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළිදකියි

    දෙසැම්බර් 14, 2020

    ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන නිවාසවල සිටින දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් යොදාගනිමින් මුද්‍රණය කරන ලද සුබපැතුම්පත් එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

     

    විදේශයන්හි සිට පැමිණ මෙරට වෙසෙන පුද්ගලයන්ගේ සංවිධානයක් වන Colombo Expats Cultural Association (CECA) විසින් මෙම සිතුවම් නිර්මාණ තරගය සහ එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබේ. මෙරට වෙසෙන ඉන්දියානුවන් වැඩි පිරිසකගෙන් සමන්විත මෙම CECA සංවිධානය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සමාජයීය සංවර්ධන කටයුතු වෙනුවෙන් මින් පෙරද බොහෝ වැඩසටහන් පැවැත්වීමට දායකත්වය ලබාදී ඇත.

    මෙරට ළමා නිවාසවල වෙසෙන දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් හඳුනාගනිමින්, ඔවුන් දිරිගැන්වීමත්, ඔවුන්ගේ දක්ෂතා සමාජගත කිරීමත්, එමඟින් ඉදිරි නිර්මාණාත්මක කටයුතු වෙනුවෙන් ඔවුන්ට ශක්තිය හා මගපෙන්වීම ලබාදීමත් වෙනුවෙන් මෙම සිතුවම් තරගාවලිය හරහා දරුවන්ට සහායවීම CECA සංවිධානයේ අපේක්ෂාවයි.

    කොවිඩ් අභියෝගය හමුවේ බොහෝ දේ නතර වී ඇති මෙවන් කාලපරිච්ඡේදයක CECA සංවිධානය විසින් මෙරට ළමා නිවාසවල දරුවන් සම්බන්ධ කරගනිමින් නිර්මාණාත්මක කටයුත්තක යෙදීම අතිශයින් ම අගය කරන බව මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ළමා නිවාස 369ක දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් 4,375ක් මේ වැඩපිළිවෙළ යටතේ හඳුනාගැනීමට හැකි වී ඇති අතර, ඒ අතරින් විශිෂ්ටතම සිතුවම් 60ක් තෝරාගෙන එම සිතුවම් සුබපැතුම්පත් ලෙස මුද්‍රණය කිරීමට CECA සංවිධානය ඒ අනුව කටයුතු යොදා තිබේ.

    මුද්‍රණයට තෝරාගත් සිතුවම් ඇතුළත් සුබපැතුම් පත් ඉදිරියේ දී අලෙවි කිරීමට ද සැලසුම් කර ඇති අතර, එමඟින් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් යෙදවීමට ද සංවිධානය අපේක්ෂා කරයි.

    මෙම අවස්ථාවට තමාට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් CECA සංවිධානය වෙත කෘතවේදී ස්තුතිය පිරිනමන බව ද, මෙවැනි දිරිගැන්වීම් හරහා දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් මතුකරලීම ප්‍රශංසනීය කටයුත්තක් බව ද, වැඩිදුරටත් අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා, ළමා හා කාන්තා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා පාසල් සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, CECA සංවිධානයේ සභාපති කැප්ටන් බන්ජාරි මහතා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya