මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය විවෘත කිරීම සම්බන්ධයෙන් ජනපති, අගමැති ප්‍රමුඛ රජයට එළවළු වෙළදුන්ගේ ප්‍රසාදය.

    දෙසැම්බර් 16, 2020

    පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය (New Manin Market) විවෘත කිරීම සම්බන්ධයෙන් එළවළු තොග වෙළන්දෝ ජනපති, අගමැති ප්‍රමුඛ රජයට සිය ප්‍රශංසාව පළ කරති.

    අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනි දා පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව නව මැනිං වෙළඳ සංකීර්ණයට ප්‍රථම එළවළු තොග ලොරි පැමිණියේ පසුගිය 14 වැනි දා සවස් කාලයේ දී ය.

    කොවිඞ් - 19 වෛරස තත්වය පාලනය කිරීමේ අභියෝගයට එක් පැත්තකින් රජය සාර්ථකව මුහුණ දෙන අතරතුර අනෙක් පැත්තෙන් විශාල සංවර්ධන ව්‍යාපෘතියක් වන නව මැනිං වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කිරීම අගය කළ යුතු බව එම වෙළඳ මහත්වරු ප්‍රකාශ කරති.

    කාලයක් තිස්සේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබුණු නව මැනිං වෙළඳ සංකීර්ණය මෙසේ විවෘත කිරීම තුළින් එළවළු ගොවීන්ටත්, වෙළඳුන්ටත්, පාරිභෝගික ජනතාවටත් ප්‍රතිලාභ රැසක් හිමිවන බව ද එම තොග වෙළඳ මහත්වරු පෙන්වා දෙති.

    කොළඹ පැරණි එළවළු තොග වෙළඳපොළ වසර ගණනාවක තිස්සේ එකම තැනක පැවතුනත් එහි කිසිඳු සංවර්ධනයක් සිදු නොවීම නිසා එළවළු වෙළෙදුන් මෙන්ම පාරිභෝගික ජනතාව ද දුෂ්කරතා රැසකට වසර ගණනාවක් තිස්සේ මුහුණ පා ඇත.

    දැඩි තදබදය, වර්ෂා දිනවලදී මඩවීම, වාහන නතර කිරීමට පහසුකම් නොමැති වීම ඇතුළු ගැටළු රැසක් පැවතුණු අතර කොටුව, පිටකොටුව ප්‍රදේශවල වාහන තදබදයට ද මෙම පැරණි මැනිං වෙළඳපොලේ තදබදය ද හේතුවක් වූ බව වෙළඳ මහත්වරු පෙන්වා දෙති.

    එම නිසා 2011 වසරේ දී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සමඟාමීව පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට එවකට පැවති රජය කටයුතු කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව වෙළඳ මහත්වරු ප්‍රකාශ කරති.

    වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණ.

    කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසදුමක් වශයෙන් හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේ වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.

    මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කළේ ද එම අවස්ථාවේදීමය. එම මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.

    කොළඹ නගරයේ අධික වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ ක්‍රියාවලියේ දී වැඩිම අවධානයක් යොමු වූයේ කොළඹ මාළු වෙළඳ සංකීර්ණය, කොළඹ මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාම පිළිබඳවයි.මාළු, එළවළු තොග වෙළෙඳාම පමණක් නොව පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන වියළි ආහාර තොග බඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු ද ඉදිරියේ දී පෑලියගොඩ ගෙන යාමට නියමිතයි.

    පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ද අවස්ථාව හිමිවේ.

    ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවේ.මේ නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවමවීමට මෙය යම් බලපෑමක් ද සිදුකරනු ලබයි. පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ රථවාහන 600 ක් පමණ නතර කිරීමට පහසුකම් සලසා දී තිබේ.

    මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය - වැය මඟින් ද ප්‍රකාශ වුණේ රට සංවර්ධනය කිරීමට අදාළව තවත් ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක්ම කඩිනමින් ආරම්භ කරන බවයි.

    මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වතිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.9 කි.

    නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය මඟින් වෙළඳ මහතුන්ටත්, පාරිභෝගික ජනතාවටත් පහසුකම් රැසක් සැලසෙන බවයි. ඉඩම ගොඩකිරීම සහ ජලපවහන සැලැස්ම සකස් කළේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි.

    පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතියේ සියළුම ඉදිකිරීම් කටයුතු සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් සිදු කළේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ (CCB) ආයතනයේ ඉංජිනේරුවරුන් හා වාස්තු විද්‍යාඥයින් විසිනි.

    ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය ප්‍රකාශ කරන්නේ වෙළඳ මහතුන්ගේ හා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස මෙම පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය නිර්මාණය කළ බවයි.

    කොළඹ මැනිං වෙළඳපොළ කඩිනමින් පැලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය වෙත ගෙන යාමට කටයුතු කිරීම ගැන කොළඹ මැනිං වෙළඳපොළේ වෙළදාම් සිදු කළ වෙළඳ මහත්වරුන් දැඩි ප්‍රසාදය පල කරති.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya