ධීවර කටයුතු වල යෙදෙන යාත්‍රාවලට තත්ව සහතික ලබා දෙන හා අබලන් තත්වයේ පවතින යාත්‍රා අළුත්වැඩියා කිරීමේ ගැටළු සදහා විසදුමක් ලැබී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ඒ වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට උතුරේ ජනතාව වෙනුවෙන් තමාගේ ස්තුතිය පුද කරන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කයිට්ස් ප්‍රදේශයේ පිහිටුවා ඇති නාවික උප ලේකම් කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාව සදහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එක්වු අවස්ථාවේදී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ රටේ සංවර්ධන කටයුතු ජාති, ආගම්,භේදයකින් තොරව ක්‍රියාවට නංවන බවත් නමුත් උතුරේ සිටින සමහර මාධ්‍යවේදීන් තමන්ගේ වාසිය තකා ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ ගත කිරීමට කටයුතු කරන බවත්ය.
විශේෂයෙන් පසුගිය කාලය තුළ දැඩි ලෙස විවේචනයට තුඩු දුන් කරුණක් ලෙස පළාලි ගුවන්තොටුපල වසා දමන බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කිරීමට අවස්ථාවාදී මාධ්‍ය කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි. තවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, කංකසන්තුරෙයි වරාය සංවර්ධනය කිරීමටත්, පේදුරුතුඩුව ධීවර වරාය හා නැංගුරම්පොල සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පියවරයන් මේ වන විටත් ගනිමින් සිටින බවත් එමගින් එම ප්‍රදේශයන්හි ජීවත් වන තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථාවන් ලබාදීමට හැකියාවක් පවතින බවත් පෙන්වා දෙන ලදි. තවද කංකසන්තුරේ වරාය ඉදිකොට විවෘත කිරීමෙන් පසු ඉන්දියාවේ සිට සෘජුවම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කර සහන මිළට ජනතාවට බෙදා දීමටද හැකියාවක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.