දශක කිහිපයක් තිස්සේ ම සිදුවෙන කළුගල්, පස් හා වැලි කැණීම් සිදු කරන ස්ථාන විධිමත් පරිදි පුනරුත්ථාපණය කිරීමට වැඩ පිළිවෙළක් නොතිබීම නිසා එම ස්ථාන කැනීම් කර අවසන් වු පසුව යකුන් නැටූ සොහොන් පිටි මෙන් තත්ත්වයට පත්ව ඇති බව තමන් අවස්ථා ගණනාවක දී නිරීක්ෂණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇතැම් කළුගල් කැණීම් කළ ස්ථාන විශාල ආවාට වැනි ගල්වල් සැකසී ඇති අතර මැටි සඳහා පස් කපන ලද ස්ථානවල ගැඹුරු වළවල් සැදී තිබේ. මෙම ගල්වලවල් වලට හා පස් කැණීම් කරන ලද වළවල් නිසි පරිදි පුනරුත්ථාපණය නොකිරීමේ වැඩ පිළිවෙළක් කිසි දිනෙක නොතිබු නිසා එම වළවල් වලට ඇද වැටීම හේතුවෙන් පුද්ගල මරණ පවා සිදු වි තිබේ. එමෙන්ම වනසතුන්ද මෙම වළවල් වලට වැටී මිය යති.
පරිසර විනාශය පෙන්නුම් කරන මෙම ස්ථාන අසළටවත් යාමට ඒ අවට මහජනතාව අකැමැත්තෙන් පසුවේ. එයට හේතුව එම ස්ථාන දැකීමට පවා බියකරු තත්ත්වයකට පත්ව ඇති නිසාය.
මේ නිසා වැළි, කළුගල් හා පස් කැණිම් සිදු කෙරෙන ස්ථාන විදිමත් පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් යටතේ මහජන ආකර්ශණය සඳහා හේතුවෙන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය. කැණීම් බලපත් ලබා දීමේ දී කැණීම් සිදු කරන ස්ථානවල පුනරුත්ථාපන කටයුතු අදාල කැණීම් බලපත් ලබා ගන්නා පුද්ගලයාගේම වියදමින් සිදු කළ යුතුය. ඒ සම්බන්ධ වගන්ති බලපත් ලබා දීමේ ගිවිසුමට ඇතුළත් කළ යුතුය.
කළුගල් කැණීම් කරන ස්ථානයක් යනු අඩුම තරමින් වසර පහකට වැඩි කාලයක් එම කටයුතු සිදු වන ස්ථානයකි. ඔවුන් රුපියල් කෝටි ගණනක් ඉන් උපයයි. එම මුදලින් සියයට 05ක්- 10ක් වැනි මුදලක් යොදවා එම ස්ථාන පුනරුත්ථාපනය කිරීම ඔවුන්ගේ වගකීමක් ද වේ.
එමනිසා එසේ කටයුතු නොකරන පුද්ගලයින් හට පසුවිපරමකින් පසුව නැවත බලපත් නිකුත් නොකිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
විශේෂයෙන් කැණීම් සිදු කළ ස්ථාන වල ඇති මැටි හා ගල් වළවල් මසුන් වගා කළ හැකි පොකුණු වශයෙන් සංවර්ධනය කිරීම ද, ගල්වලවල් වල ඇති ජලය වගා කටයුතු යොදා ගැනීමට ජලාශ වශයෙන් සංවර්ධනය කිරීම ද , කැණීම් අවසන් කළ ප්‍රදේශය තුළ ළමා උද්‍යාන මෙන්ම ඇවිදීමේ මංතීරු වශයෙන්ද සංවර්ධනය කිරීමත් විවිධ රුක් රෝපණය කර හරිත කලාප බවට ඒවා පත් කිරීම වැනි ආකර්ශණිය වැඩ පිළිවෙළ රැසක් දියත් කළ හැකිය.
එමනිසා මෙම වැඩ පිළිවෙළ වහාම ආරම්භ කරන ලෙසත් එම කටයුතු මුලුමනින්ම ක්‍රියාත්මක කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ ද වගකීමක් ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් උපදෙස් දෙමින් කියා සිටියේය. මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඊට අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.