අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකිරීමේ කටයුතු (04) දින ඔරුගොඩවත්තේදී ආරම්භ කෙරිණ.
නිවාස විෂය භාර අමා්‍යවරයා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ නියමිත ප්‍රමිතියට අනුකූලව වඩාත් ආකර්ෂණීය ලෙස මෙම නිවාස සාදා නිම කරන ලෙසයි.
ඊට අමතරව නිවාස නොමැති මධ්‍යම ප්‍රාන්තික පවුල්වල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ට සරිලන ආකාරයෙන් මෙම නිවාස ඉදිකරන ලෙසට ද අග්‍රාමාත්‍යතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදි.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු උතුරු කොළඹ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු (04) දින ආරම්භ කෙරෙණු අතර නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම සියළු කටයුතු අධික්ෂණය කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ සති දෙකක් තුළ නිවාස ඒකක 3,000 ක් ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන බවයි.
“අපි 2020 අවුරුද්ද අවසන් කරල 2021 අලුත් අවුරුද්දේ බලාපොරොත්තුව ආරම්භ කරන මේ වෙලාවේ මම මොහොතකට 2020 වසර ගැන මතක් කිරීමක් ඔබට කරන්නම්. 2020 කතා කළේ කොරෝනා වෛරසය ගැන තමා වැඩියෙන්ම. නමුත් ඊට වඩා වැඩියෙන් අපි කතා කළ යුතු කතා කිරීමට සුදුසු බොහෝ දේවල් 2020 වසරේ මේ රටේ සිද්ධ වුණා. ත්‍රස්ත්‍රවාදයෙන් බියෙන් ඇළලී ගිහිල්ලා පාරේ ඇවිදින කොට පාරේ වුණත් වෙඩි ප්‍රහාරයකට ලක් වෙන්න තත්ත්වයක් තිබිච්ච මුළු රට පුරාම මහා මත්ද්‍රව්‍ය උවදුර පැවතිලා තිබිච්ච රටක් සාමකාමීව සුරක්ෂිත රටක් බවට පත්වුණේ 2020 වසර තුළ. ආර්ථිකය කඩාවැටිලා, ජන ජීවිතය අවුල් වෙලා, පොලී අනුපාතයන් ඉහළ ගිහිල්ලා බදු බර වැඩි වෙලා තිබිච්ච රටකට ආර්ථික ස්ථාවරත්වයක් අද ඇවිල්ලා. බදු බර අඩු වෙලා, පොළී අනුපාතයන් අඩුවෙලා, රුපියල ස්ථාවර වෙලා, ආර්ථික ක්‍රියාවලිය නැවත සක්‍රීය වෙන්න පටන් ගත්තේ පසුගිය අවුරුද්ද ඇතුළේ. රැකියා විරහිත වෙලා හිටපු උපාධිධාරීන්ට අවුරුදු ගණනාවක් තිස්සේ රැකියාවක් ලබාගන්න බැරුව හිටපු 60,000 කට රැකියා ලබා දුන්නා. මේ රටේ දුප්පත්ම පවුල්වලට සහනයක් වෙන්න ඒ දුප්පත්ම පවුල්වල ඉන්න තරුණ තරුණියන්ට රැකියා 100,000 ක් රජයේ රැකියා ලබා දෙන්න වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒකෙන් 50% ක් විතර අවසන් වෙලා තිබෙනවා. කොරෝනා වෛරස ප්‍රශ්නය ආපු වෙලාවේ ජන ජීවිතය පවත්වාගෙන යන්න රුපියල් බිලියන 70 කට වඩා වියදම් කරල ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්නා. ආර්ථික ක්‍රියාවලිය යළි සක්‍රීය කරන්න. මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් පටන් අරන් මාර්ග 100,000 ක් ඉදි කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. එයින් පාලම් 10,000 ක් ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා මේ වන විටත් එයින් 5,000 ක් පමණ අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා 2020 වසරේ බොහෝ වෙනස්කම් මේ රට වෙනුවෙන් සිද්ධ වෙච්ච වසරක්. 2021 වසරේ අපි ජන ජීවිතය නැවතත් සාමාන්‍ය කරගන්නට ඕනේ. මේ අසාමාන්‍ය තත්වය සාමාන්‍ය තත්වයක් බවට පරිවර්තනය කරගන්නටත් අපි ක්‍රියාකරන වෙලාවක අපේ රට අපි සෑහෙන දුරට හොඳින් ඒක කළමනාකරණය කර ගත්තා. අපේ අමාත්‍යාංශය ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් අමාත්‍ය වෙනකොට, සිරිනිමල් පෙරේරා මැතිතුමා ලේකම් වෙච්ච අපේ අමාත්‍යාංශය පසුගිය කාලයේ කොරෝනා කියලා නිකන් හිටියෙ නැහැ. අමාත්‍යාංශයේ පැය 24 ම වැඩ කළා. මන්දගාමී වෙලා තිබ්බ ව්‍යාපෘති කීපයක් අපි වේගයෙන් ඉදිරියට පටන් අරගෙන තියෙනවද. දැන් මේ සති 2 තුළ අපි ගෙවල් 3,000 ක් හදන්න මුල්ගල තියෙනවා මධ්‍යම ප්‍රාන්තික නිවාසවලට. අපි ආරාධනා කරනවා මේ රටේ අනෙකුත් සියලු දෙනාටත් ඒ විදිහට සුබවාදීව දකින්න කියලා. කාලය නාස්ති කරන්න විදිහක් නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ. අපේ අමාත්‍යාංශයේ නම් ඉතාමත්ම පැහැදිලි. අපිට ආයතන 07 ක් තියෙනවා.
අපේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඒ ආයතන හතෙන්ම හොඳ වැඩපිළිවෙළක් සකස් කරලා තේමාවන් 08 ක් යටතේ අපි ඉලක්ක සකස් කරගෙන අපි ඒවා ක්‍රියාත්ම කිරීමේ නිර්දේශයේ යෙදී සිටිනවා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ නිලධාරීන්ට. අපේ අමාත්‍යාංශයේ විවිධ ආයතනවල ඉන්න නිලධාරීන්ට. ඔවුන් වැඩ කරන ආකාරයට. හැබැයි අපි ඉල්ලා සිටිනවා ඔවුන්ට මීටත් වඩා අපි කාර්යක්ශම වෙන්න ඕනේ. මීටත් වඩා පිරිසිදු වෙන්න ඕනේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ තියෙන විශේෂ අවධානය ලබා දෙන දෙයක් තමයි පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය පාලනය කියන සංකල්පය. හැබැයි මධ්‍යම ප්‍රාන්තික නිවාස ගැන කතා කරනකොට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එතුමා පටන් ගත්ත මේ අඩු ආදායම්ලාභීන්ට, පැල්පත්වාසීන්ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඒක මහා විශාල ව්‍යාපෘතියක්. 60,000 ක් විතර පැල්පත්වාසීන් ඉන්නවා මේ කොළඹ නගර සීමාව තුළ. ඒ අයට නිවාස සෑදීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ සඳහා සැලැස්මක් තිබුණා.
මොකද ඒ මුදල අපිට තනියම වියදම් කරන්න බැහැ. ඒ සඳහා සැලැස්මක් තිබුණා. පැල්පත්වාසීන් දැනට ඒකරාශී වෙලා ඉන්න තැන්වල ඒ අයට නිවාස ලබා දීලා වෙන තැන් වල යොදවලා, ඒ අය හිටපු ඉඩම් ව්‍යාපාරික කටයුතුවලට යොමු කරලා එමඟින් මුදලක් හොයාගෙන ඉතුරු අයටත් නිවාස ලබාදීම පියවරින් පියවරට කරපු වැඩපිළිවෙළ මඟින් 18, 000 ක් විතර සැලසුම් කරගෙන ඉද්දි තමයි ආණ්ඩුව පෙරළුණේ. හැබැයි කොළඹ නගරයේ විතරක් නෙමෙයි පැල්පත්වාසීන් කොළඹ අවට, කොළඹින් එහාට යනකොට මේ ගම්පහ ප්‍රදේශයේ, කළුතර ප්‍රදේශයේ විශාල දුප්පත් පැල්පත්වාසීන් පිරිසක් ඉන්නවා. මේ කොළඹ අභියෝගය ජයගෙන ඒවට අත ගහන්නත් ඕන. අපිට ඉවර කරන්න ගොඩක් වැඩ තියෙනවා. මේ රටේ විවිධ ජන කොටස් ඉන්නවා. ඒ අතර මධ්‍යම ප්‍රාන්තිකයිනුත් ඉතාම වැදගත් පිරිසක්. මධ්‍යම ප්‍රාන්තික තරුණ පවුල්වලට, තරුණ වෘත්තිකයන්ට පහසු මිලට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියකුත් අපි ආරම්භ කරලා තියෙනවා. යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ ය.
මෙම නිවාස 3,000 ඉදිකිරීමේ කටයුතු වසරක් තුළ නිම කළ හැකි බවත් ඒ අනුව අදාළ වසර තුළ එම නිවාස ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ දේශීය කොන්ත්‍රාත් සමාගම් ක්‍රියාකළ යුතු බව මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
“ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රධානම අරමුණක් වුණේ මේ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් කිරීම. ඒ සංකල්ප 10 ප්‍රධාන සංකල්පයක් වන්නේ සතුටින් සිටින පවුලක් නගා නගාසිටුවීම තමා එතුමාගේ සංකල්පවලින් ප්‍රධාන තැනක් ගන්නේ. ඒ අනුව තමයි මේ සියළු දෙනාටම එහෙම සතුටු පවුලක් ලෙස ඉන්න ඕනේ නම් මං හිතන්නේ ප්‍රධාන වශයෙන් ම ඔබට අවශ්‍ය වෙන්නේ නිවසක්. ඒ අනුව මං හිතන්නේ ඉතාමත්ම දුෂ්කර කර්තව්‍යයකට දැනට පත්වෙලා ඉන්න කට්ටියක් තමයි මේ මධ්‍යම ප්‍රාන්තිකයන්. විශේෂයෙන් ම ජාතික වෘත්තිකයන් ගොඩක් දෙනා ඉගෙන ගන්නවා. ඒ අය විභාග සමත් වෙලා නොයෙකුත් ආයතනවල රැකියාවලට යනවා. රජයේ ආයතන, පුද්ගලික ආයතන හෝ වේවා මේ කිසිම ආයතනයක එතුමන්ලා ඉගෙනගෙන රැකියාවක් කළත් බොහෝ අයට නිවාස ප්‍රශ්නයට විසඳුමක් ගන්න බැහැ. ඒ අයගේ විවාහය ප්‍රමාද වුණේ ඒ ගොල්ලන්ටත් ඉදිරි දැක්ම අනුව ඉන්න තැනක් නැති නිසා තමයි. C1 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න සියළුම දෙනා ජනාධිපති කාර්යාලයට කැදවලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ඔබට අවශ්‍ය සියලුම පහසුකම් දෙන්නම්, ඔබට අවශ්‍ය සියළුම නව තාක්ෂණය වැඩි දියුණු කරගන්න ඔබ සැමට ම උදව් කරන්නම් මේ ගෙවල් 5,000 මට අවුරුද්දකින් නිම කරලා දෙන්න ඕනේ කියලා. මං හිතන්නේ ඒක ඒ සියලු දෙනාම පිළිගත්තා. ඒ හින්දා එක අවුරුද්දකින් වැඩ කරන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. එතුමා උපදෙසක් දීපුවාම, එතුමත් එක්ක 2010 ඉදලා වැඩ කරල තියෙන මම කවදාවත් දැකලා නෑ එතුමට එක අමතක වෙනවා නම් බාර දීපු වැඩක්. අගනා, වටිනා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නාමයක් ලබා ගත්ත අයට තමයි අපි මේ ගෙවල් 3000 දෙන්නෙ. ඉතින් ඒගොල්ලන්ගෙ කීර්තිනාමය වැඩි කරගන්න පුළුවන් මේක ඉක්මණට හදලා දුන්නට පස්සේ. මෙච්චර කල් ඒගොල්ලො අපිත් එක්ක වැඩ කළා. C1 කොන්ත්‍රාත්කරුවන් සියළු දෙනාගෙන් ම ඔබතුමන්ලාගේ දක්ෂතාවය පෙන්වන්න. ඔබතුමන්ලා කවදාවත් සැලෙන්න එපා. මොකද හැමතිස්සෙ ම ජනාධිපතිතුමා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිටුපස ඉන්න කෙනෙක්. ඒ වගේ ම තමයි නාගරික සංවර්ධන අධිකාරි 2010 ඉදලා 2015 දක්වා බිලියන 16 ක් මේ C1 කොන්ත්‍රාත්කරුවන් අතරේ බෙදා දීලා තියෙනවා. අපි අපේ යුතුකම 2010 ඉදලා ඉටුකළා. නමුත් 2015 ඉඳලා 2019 වර්ෂය වෙනකන් ඔබතුමන්ලා මොනවද කළේ කියන එක සම්බන්ධයෙන් මම දන්නෙ නැහැ. මම දන්නවා කරපු වැඩවලට නාගරික සංවර්ධන අධිකාරියෙන් මුදල් ගෙවලා තිබ්බේ නැහැ කියලා. ඒවා ඔක්කොම පහුගිය අතීතයක් විතරයි. ඒ ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔබලාට පොරොන්දු වුනා වගේ ම ඒ අවශ්‍ය වන ගෙවීම් නිසි ආකාරව ඒ කාලයට ඒ දවසට ගෙවන්න. එහෙම ගෙවලා නැත්නම් මට හෝ මගේ රාජ්‍ය ඇමතිට කියන්න මොකද ඒ සම්බන්ධව අපි සම්පූර්ණ වගකීම භාරගන්නවා.”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
මෙම උත්සව අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ වසර ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට නොගත් මෙම ඉඩම ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා බවයි.
“ඉතාමත් ම ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගරය තමයි කොළොන්නාව කියන්නේ. ජන ඝනත්වය ගත්තත් කොළඹ නගරයට සමානවම ජන ඝනත්වයක් තියෙන කලාපයක් තමයි කොළොන්නාව කියන්නේ. හැබැයි කොලොන්නාවට එදා මෙදා තුර සංවර්ධනයේ අරුණලු ඉතාමත් අඩුවෙන් තමයි වැටුණේ. ඒක අපි හරියාකාරව හඳුනගත්තා 2010 වර්ෂයේ ඉඳලා. අපිට මතකයි මේ කොළොන්නාව නාගරික බල ප්‍රදේශයට අවශ්‍ය කඩිනම් සංවර්ධන සැලසුම් අපි 2010 වර්ෂයේ ආරම්භ කළා. 2010 වර්ෂයේ ආරම්භ කරපු කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිවල එක් ව්‍යාපෘතියක් තමයි මෙන්න මේ ඔරුගොඩවත්ත නාගරික වටිනාකමින් යුත් භූමිය. මේ භූමිය තිබුණේ දැව ගොඩගහපු දැව ගබඩාවක් හැටියට තමයි. මේ භූමිය අක්කර 05 ක පමණ භූමි භාගයක්. දැවවලින් මේක ගබඩා කරල තිබුණට මේක නාගරික ඌන උපයෝගීතාවයකින් යුතු ඉඩමක්. මේ වගේ ඉඩම් කිහිපයක් අපි හඳුනාගත්තා. කොළඹ නගරය ආශ්‍රිතව අක්කර හතළිහක පමණ නාගරික ඌන උපයෝගීතාවයකින් යුතු ඉඩම් ප්‍රශස්ත නාගරීකරණයට යෙදවීමේ ඒ නියමු ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ 2010 එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි තමයි මේ ඉඩම් අපි නාගරික සංවර්ධන අධිකාරියට අත්පත් කර ගත්තේ. මේ ඉඩම දැව සංස්ථාව සතු ඉඩමක්. නගරයට පිවිසෙන පිවිසුම් දොරටුව ඇතුළේ තියෙන ගුණතාවයකින් යුතු ඉඩමක්. ප්‍රශස්ත සංවර්ධනයට යොදවලා තමයි මේක හඳුනගත්තේ. හැබැයි පසුගිය අවුරුදු දහයකට ආසන්න කාලයක් මෙම ඉඩම සංවර්ධනය කරගන්න බැරුව මෙවැනි තත්ත්වයක තිබියදී නැවතත් අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ හා අපේ ලේකම්තුමාගේ විශේෂ මැදිහත්වීම තුළ මේ ඉඩම නැවත මේ කොලොන්නාව ප්‍රදේශයේ ජීවත්වන රාජ්‍ය සේවයට සම්බන්ධ රාජ්‍ය සේවයේ නිලධාරීන්ට මෙන්ම පෞද්ගලික අංශයේ නිලධාරීන්ට නිවාස සිහිනය සැබෑ කරන ස්ථානයක් බවට මේ ස්ථානය පරිවර්තනය කරන්න අද අපි කටයුතු කළා.”යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ ය.
අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම මධ්‍යම ආදායම් ලබන නිවාස නොමැති පවුල් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් වේ.
ප්‍රථම අදියර යටතේ මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලfඕ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවලද,
ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවල ද ඉදිකිරීමට නියමිතයි.මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 3000 සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 කි.
නව යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන්ට නිවසක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන සේ මෙම නිවාස ඒකක ඉදිකිරීම ද විශේෂත්වයකි.ඊට අමතරව තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සහ මධ්‍යම ප්‍රාන්තිකයින් ඉලක්ක කර ගෙන මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වේ.කොළඹ, ගම්පහ සහ මහනුවර ඇතුළු ප්‍රධාන නගර සඳහා සුදුසු ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුන්ගන්නා ලදී.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ඔවුන්ගේ රැකියා ස්ථානවලට කෙටි දුරක් ඇතුළත නිවාස ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.මෙම මහල් නිවාස සංකීර්ණවල ඉදිකෙරෙන නිවාස ඒකක වර්ග අඩි 700 කින් සහ වර්ග අඩි 900 කින් සමන්විත වේ.වර්ග අඩි 700 නිවාස නිදන කාමර දෙකකින් සමන්විත වන අතර වර්ග අඩි 900 නිවාස නිදන කාමර තුනකින් ද සමන්විතයි.
මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකිරීම ජනතාව වෙනුවෙන් ලබා දෙන විශාල සහනයකි.ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම මෙන්ම වසර 25 ක කාලය තුළ රජයේ බැංකු විසින් 6.25% ක පොළි අනුපාතයක් යටතේ ගැණුම්කරුවන්ට ණය පහසුකම් ලබාදීම ඇතුළු කරුණු තුළින් මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සහනදායි මිලකට නිවාස හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ.මෙම මහල් නිවාස ඒකක සඳහා සියළු යටිතල පහසුකම් රජය මඟින් ලබා දේ.
(04) දින ඉදිකෙරෙන ඔරුගොඩවත්තේ නිවාස ඒකක 432 ක ඉදිකිරීම් කටයුතු Access Engineering PLC ආයතනය ක්‍රියාත්මක කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ ය.රට පුරා ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය වසර 1 1/2 ක් තුළ ඉදිකර අවසන් කිරීමට නියමිත අතර නිවාස 5000 න් ඉතිරි නිවාස 2,000 ඉදිකිරීමේ කටයුතු මාර්තු මාසයට පෙර ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.