.මහ කොමසාරිස්වරයා සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඉකුත් 08 වනදා විදේශ ඇමති ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පළමු සීෂෙල්ස් මහ කොමසාරිස්වරයා ලෙස, 2017 සහ 2018 වසරවල දී සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළුව සිය ධූර කාලය තුළ දී ශ්‍රී ලංකා - සීෂෙල්ස් සබඳතා නංවාලීම සඳහා එතුමා ලබා දුන් කැපී පෙනෙන හා සුවිශේෂී දායකත්වය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා මහ කොමසාරිස් මෙඩෙරික් මැතිතුමාට ප්‍රශංසා කළේය.
බහුපාර්ශ්වීය හා ජාත්‍යන්තර වේදිකාවල දී සීෂෙල්ස් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිගත් විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, වෙළඳ, කෘෂිකාර්මික, වෛද්‍ය, සංචාරක, නිල් ආර්ථිකය, ආගන්තුක සත්කාරය, මූල්‍ය අංශය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්රවල සමීප සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ලබා දුන් සහයෝගයද මෙහිදී කෘතවේදීව සිහිපත් කෙළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය, සමුද්‍රීය ආරක්ෂාව, මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේශසීමා ඉක්මවමින් සිදු කෙරෙන අපරාධ ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කලාපීය හා ගෝලීය කරුණු සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අදහස් හුවමාරු කර ගත්හ.
සීෂෙල්ස් හි ජනාධිපති හා එරට විදේශ අමාත්‍යතුමාගෙන් ශ්‍රී ලංකා ජනතාව වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමින්, මහ කොමසාරිස් මෙඩෙරික් මැතිතුමා පශ්චාත් කොවිඩ් ලෝකයේ දී නව මානයන් කරා ළඟා වීම සඳහා විශාල අවස්ථාවක් පවතින ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර ඵලදායී සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. අධ්‍යාපනය, සෞඛ්‍යය, මූල්‍ය හා සංචාරක කටයුතු වැනි බොහෝ ක්ෂේත්රවල ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට සහ නිපුණ ශ්‍රමිකයින් සඳහා සීෂෙල්ස් හි විවෘතව පවත්නා අවස්ථාවන් පිළිබඳව මහ කොමසාරිස්වරයා විසින් පැහැදිලි කරන ලදී.
වාර්ෂිකව සීෂෙල්ස් හි වැසියන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් ප්රතිලාභ ලබන, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර සහ සෞඛ්‍ය කර්මාන්ත විසින් ලබා දෙන නවීන සේවයේ ගුණාත්මකභාවය මහ කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්විය.
කොවිඩ් අර්බුදය හේතුවෙන් ඇති වූ ආර්ථික බාධාවන් මත කොළඹ පිහිටි සීෂෙල්ස් මහ කොමසාරිස් කාර්යාලය වසා දැමීමට යෙදුණද, මහ කොමසාරිස්වරයා කොළඹ සඳහා නිර්වේතනික කොන්සල්වරයෙකු පත් කිරීමට අවසර ඉල්ලා විදේශ අමාත්‍යවරයාට ලිපියක් භාර දුන්නේය.
ඉන්දියන් සාගර කලාපීය ජාතීන් වශයෙන් දෙපාර්ශ්වයම ඉදිරි වසරවල දී සහයෝගීතාවයේ නව ක්ෂේත්රයන් වැළඳ ගනිමින් පවත්නා සබඳතා තහවුරු කර ගැනීම සඳහා එකඟ වූහ.