වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා 'ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක' (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ 'දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය' මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.