කොවිඩ් එන්නත මාර්තු මාසය වන විට සමාජයට ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද දින (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
මේ වන විට ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය හා සෞඛ්‍ය අංශ වල මෙන්ම වෛද්‍ය නිලධාරීන් ගණනාවකයෙන් සැදුම්ලත් කමිටුවක් කොවිඩ් එන්නත් ලබාදීම සම්බන්ධව කටයුතු කිරීමට පත්කර ඇති බවත්, එමගින් මේ වන විට මූලික අවශ්‍යතාවයන් සහ මූලික හැකියාවන් සම්බන්ධව අධ්‍යයනය කර අවසන් බව අමාත්‍යවරයා පැවසුවේය.
ඒ අනූව ලබන මාසයේ අවසානයේ හෝ මාර්තු මාසය වන විට මෙම එන්නත භාවිතයට ලබාගැනීමට හැකි තැනකට ගෙනඒමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය. මේ වන විට නිෂ්පාදකයින් හතරදෙනෙකු සමග සාකච්ඡා කරමින් පවතින බවද, ඉතාමත්ම සාධනීය පිළිතුරු ලැබෙමින් පවතින බවද සිහිපත් කළ ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ අප රටට ගැලපෙන පසුබිම, පරිපාලනය කරගත හැකි උෂ්ණත්ව තත්ත්ව ආදිය මෙන්ම එම එක් එක් උෂ්ණත්ව පරාස අවශ්‍ය නිෂ්පාදන වල සාර්ථකත්වය පිළිබදව ගැටලු කිහිපයක් පවතින අතර මේ පිළිබදව විශ්ලේෂණයන් ගණනාවක් සිදුකිරීමෙන් අනතුරුව නියත වශයෙන්ම මාර්තු මාසය වන විට එය සමාජයට ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම එන්නත ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 20%ට පමණක් නොමිලේ ලබාදීමට කටයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇතැයිද, මේ සම්බන්ධව වත්මන් රජයේ තීරණය කුමක්ද යන්න පිළිබදව මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයට පිළිතුරු වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට එම කරුණ සම්බන්ධයෙන් මෙන්ම නොමිලේ ලබාදිය යුතු ප්‍රමාණය රජය සාකච්ඡා කරමින් යන බවත්, අවම වශයෙන් 50%ට එන්නත නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බවද, මේ වන විට මිලියන 11කට සැලසුම් කර ඇති බවයි.
සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සහභාගීත්වයෙන් සැලසුම් සහගතව එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ඇති අතර 60 – 70 වයස් සීමා වල පසුවන්නන්ද එයට ඇතුලත් කර ඇතැයිද මේ සම්බන්ධව පවත්වන සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයේදී මේ සියලුදේ ජනතාව හමුවේ තැබීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.