පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අදියර දෙකක් යටතේ සම්පූර්ණ ජාතික පාසල් 796ක් අලුතින් ආරම්භ කිරීම මේ මාසයේ - අධ්‍යාපන අමාත්‍ය  

    පෙබරවාරි 20, 2021

    ජාතික පාසල් වැඩපිළිවෙළ මේ මාසයේ දී ආරම්භ කරන බව ත් පළමු අදියරේ පාසල් 123ක් සහ දෙවන අදියර යටතේ පාසල් 673ක් ජාතික පාසල් මට්ටමට උසස් කොට ඊට අවශ්‍ය සියලු
    පහසුකම් ලබා දීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    එසේ ම පළමුවන අදියර සඳහා රුපියල් මිලියන 950ක් සහ දෙවන අදියර සඳහා රුපියල් මිලියන 1000ක් ද මේ වනවිට ලැබී ඇති අතර පළමු අදියරේ දී මිලියන 500ක් පුනරුත්ථාපනයට සහ
    ඉතිරි මිලියන 450 උපකරණ සඳහා වැය කිරීමට අපේක්ෂිත බව ද පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ (19 වන දින) ගාල්ලේ දී පැවති ‘ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික
    වැඩසටහනෙහි’, සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ දී අදහස් දක්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අපේ පාසල් පද්ධතිය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමකට නොඑසේ නම් මූලික ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු යි. අපි දන්නවා ළමයි 50ක් පමණ සිටින පාසල් තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය
    ගුරුවරුන්, අනෙකුත් පහසුකම් සහ මුදල් වෙන් කළ යුතු යි. එයින් විශාල ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නැහැ. එවැනි දේවල් කඩිනම් වැඩපිළිවෙළකින් නිවැරදි කරගත යුතුයි. ඊට ඉලක්ක ගත
    වැඩපිළිවෙලක් අවශ්‍යයි.

    ලබන සතියේ කැබිනට් මණ්ඩලය රැස්වූවාට පසුව ජාතික පාසල් සම්බන්ධව කතා කිරීමට අපේක්ෂා කරනවා. එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපට මේ වනවිට නිර්දේශ ලැබී
    තිබෙනවා. අවම ළමයි 750ක් සිටිය යුතු වීම, උසස් පෙළ පන්ති පවත්වාගෙන යාම, අවශ්‍ය පහසුකම් සංවර්ධනයට ඉඩකඩ පවතින භූමියක් තිබීම, අවට සහ ‍පෝෂිත පාසල්වලින් දරුවන්ට
    පැමිණීමට හැකි තත්ත්වයක් පැවතිය යුතුවීම, ආදී නිර්‍දේශ සැලකිල්ලට ගනිමින් පාසල් තෝරන කටයුත්ත සම්බන්ධව සියලු ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට ලිපියක්
    යොමුකරලා තිබෙන්නේ. තවම ඒවාට පිළිතුරු ලැබී නැහැ. පිළිතුරු ලැබුණු පසු ඉක්මනින් එය ක්‍රියාවට නංවන්නට අපට පුළුවන්.

    ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනුණා ‘ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන’ පිළිබඳව. එය සංශෝධන සහිත ව ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ත් අපේ අරමුණක්. මම
    පසුගිය සතියෙත් පාසල්වලට ගියා ම දැක්කා අවුරුදු 125කට වැඩි ඉතිහාසයක් තිබෙන පාසල්වල අබලන් ගොඩනැඟිලි. ඒවා ප්‍රතිසංස්කරණය කරන්නට ඉහත වැඩසටහන යටතේ ම මුදල් ලබා දෙන්නට පුළුවන්. ඒ නිසා ඉතා ඉක්මනින් එය කැබිනට් මණ්ඩල අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කිරීමට අපි බලාගෙන ඉන්නවා. යනුවෙන් ද පැවසී ය.

     මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, ලසන්ත අලගියවන්න, මොහාන් පී. ද සිල්වා, දිස්ත්‍රික්
    සංවර්ධන කමිටු සම සභාපති සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya