ජනමාධ්‍ය අමාත්‍යංශය වශයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍ය ආයතන වල කතා කිරීමේ නිදහස, භාෂණයේ නිදහස, ඉදිරිපත් කිරීමේ නිදහස රකින අතරතුර මිලියන 22කට ආසන්න මෙරට ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමේ වගකීමත් ජනමාධ්‍ය අමාත්‍යංශයට පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද දින (23) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
මාධ්‍ය හරහාම නිදහස යන වචනයේ සීමාවන් කොපමණද, එම සීමාවන් තුළ නොසිටි පුද්ගලයන්ට මේ රටේ අනෙකුත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොයිතාක් දුරට කප්පාදු වෙනවාද යන්න අවධානයට යොමුවිය යුතු බව පැහැදිලිව කිවයුතු යැයිද අමාත්‍යවරයා පැවසුවේය.
පුවත්පත් මණ්ඩලය සම්බන්ධව කිසිම ආකාරයක මර්දනයක් සිදුකර නොමැති අතර 1973 දී ඇරඹි එය මේ වන විට යාවත්කාලීන කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. මීට පෙර මුහුණු පොත සහ වෙබ් අඩවි මේ සා ප්‍රමාණයක් නොපැවති අතර මේවායෙහි යම්කිසි ආකාරයේ තුළනතාවයක් ඇතිවිය යුතු බවද කියා සිටියේය. මේ වන විට ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ මේ සම්බන්ධව පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විවෘතව සියලුදෙනාගේ ඇතුල්වීම තුළ සාකච්ඡාවක් පවත්වා මෙය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවයි.