ශ්‍රී ලංකා - පාකිස්ථානු මිත්‍ර සබඳතා ශක්තිමත් කරමින් පාකිස්ථානයේ 22 වැනි අගමැතිවරයා වන ඉම්රාන් ඛාන් මහතා දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයක් සඳහා අද (පෙබරවාරි 22) මීට සුළු මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලින් මෙරටට සම්ප්‍රාප්ත විය.
අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙරටට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මහතා විසිනි. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.
අද (23) දින පස්වරුවේ දී අරලියයගහ මන්දිරයේ දී ගරු පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත වීමට ද එහි දී දෙරට පිළිබදව අදහස් හුවමාරු කරගැනීමට ද නියමිතව ඇති අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද අත්සන් කිරීමට නියමිතව තිබේ.
1948 සිට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම සමීප, සුහද හා අන්‍යෝන්‍ය සහයෝගීතා සබඳතා පවත්වා ගෙන යන මිත්‍රශීලී අසල්වාසීන් වේ. ගැටලුවකින් තොරව දෙරට අතර ජාත්‍යන්තර හා කලාපීය කාරණා සම්බන්ධයෙන් පොදු අදහස් හුවමාරු කරගැනීම නිරන්තරයෙන්ම සිදු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාර්ක් ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය වේදිකාවල ද දෙපාර්ශ්වයම සමීපව කටයුතුකරනු ලැබේ.