පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    රජය කැළෑ කැපීමට කිසිවෙකුට හෝ අවසර දී නැහැ- නීති විරෝධී ලෙස පරිසරය විනාශ කරන්නන් අත් අඩංගුවට ගැනීමේ පුළුල් වැඩ පිළිවෙලක්

    පෙබරවාරි 24, 2021

    රජය කැළෑ කැපීමට කිසිවෙකුට හෝ අවසර දී නැහැ- නීති විරෝධී ලෙස පරිසරය විනාශ කරන්නන් අත් අඩංගුවට ගැනීමේ පුළුල් වැඩ පිළිවෙලක් අතිගරු ජනාධීපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරම්භ කළා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කැළෑ කපා පරිසරය වැනසීමට රජය කිසිවෙකුට හෝ අවසර දී නැහැ. අහිංසක ගොවියන්ට ඔවුන් වගා කළ බිම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස රජය දුන් උපදෙස් වැරදි ආකාරයට යොදා ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් වනය විනාශ කරන්නට පටන් ගෙන තිබෙනවා. මෙම ක්‍රියාවන් පසුපස ඇතැම් දේශපාලඥයින් මෙන්ම ජාවාරම් කරුවන්ට සහාය දෙන රජයේ නිලධාරිනුත් ඉන්නවා. එමනිසා කැළෑ කපා පරිසරය විනාශ කරමින් සිටින එවැනි පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි අතිගරු ජනාධිපතිතුමන් ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පරිසරය සුරැකීමේ පුළුල් වැඩ පිළීවෙළක් ද මේ වන විට අරඹා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා එම අදහස් ප්‍රකාශ කළේ, පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති ලෝක බාලදක්ෂ දින සැමරුම් නිල උත්සවයකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පැල ලක්ෂයක් රෝපණය කිරිමට ගෙන යන වැඩ පිළීවෙළට සහාය පළ කරමින් පරිසර අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිනි.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා -

    බාලදක්ෂයා යනු පරිසර හිතකාමි අයෙක්. බේඩ්න් පවල් සාමිවරයා පරිසරය සමග ජීවත් වු කෙනෙක්. එතුමාගේ ඡන්ම දිනය සමරණ අද වැනි දිනෙක ඒ මග අනුගමනය කරමින් අද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මෙවැනි රුක් රෝපණ වැඩ සටහනක් ආරම්භ කිරීම අගය කරනවා.

    අද ප්‍රධාන හා සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ පරිසර විනාශයන් ගැනයි. පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේ නැතැයි චෝදනා එල්ල කරන්නේ පරිසර අමාත්‍යාංශයටයි. නමුත් මෙම විෂයය අමාත්‍යාංශ කිහිපයකට බෙදී තිබෙනවා. පරිසර, වනජීවි, හා වනසංරක්ෂණ යනුවෙන්. මහවැලි සංවර්ධන අමාත්‍යාංශයටත් කොටසක් අයත් වෙනවා. නමුත් පරිසරය ඉළක්ක කර ගනිමින් සිදු වෙන ඇතැම් හානිකර ක්‍රියාවන් වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශයට ඝෘජු වගකීමක් නැතත් එම ජාතික වගකීම ඉටු කිරීමට පරිසර අමාත්‍යාංශය බැඳී සිටිනවා.

    අපිට ලොකු පොඩි හෝ ප්‍රබල හා දුබළ යැයි බේදයක් නැහැ. පරිසරය විනාශ කරන කවුරුන් වුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒ හැම දෙනාම සළකන්නේ නීතිවිරෝධී ක්‍රියාවලට අනුබල දක්වන අය ලෙසයි. ඒ නිසා අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.

    පරිසර විනාශ කිරීම් සම්බන්ධව අතිගරු ජනාධීපතිතුමා හැමදාම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරනවා. ඒ නිසාම එතුමා මේ පරිසරය විනාශ කරන ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩ පිළීවෙළක් ආරම්භ කළා. පරිසර හානි ගැන ආරක්ෂක අංශවලට දැනුම් දීමට 1997 ඝෘජු දුරකථන අංකයක්, පාරිසරික පොලිසිය ශක්තිමත් කිරීම හා තොරතුරු ලබා ගැනීමට හා ක්‍රියාත්මක වීමට වෙනමම ඒකකයක්, ඒ වගේම ගුවන් හමුදාව සතු ඩ්‍රෝණ යානා උපයෝගී කර ගනිමින් වන විනාශයන් නිරීක්ෂණය කිරීම හා එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම වැනි පියවර රැසක් ගෙන තිබෙනවා.

    අපිත් පරිසර අමාත්‍යාංශය විදියට පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව තරාතිරම නොබළා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපේ දිස්ත්‍රික් නිලධාරින්ට දැනුම් දුන්නා. ඒ නිසා කවුරුහරි හිතනවා නම් කැළෑ කපා විනාශ කරන්නට මින් පසු ඒ සඳහා ඉඩක් නැහැ. ඒ වගේම මේ කටයුතුවලට සහාය දක්වන රජයේ නිලධාරින් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගෙන ගෙදර යැවීමටත් කටයුතු කරනවා.

     

     

    මෙහිදී අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද අදහස් දැක්වීය.

    අපේ රටේ වනගහණය ඉහළ නැංවීමට මෙවැනි රුක්රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා යැයි කිව්වද එහි සත්‍යතාවයක් නැහැ. වනගහණය ඉහළ නැංවීම පහසුවෙන් කළ හැක්කක් නොවෙයි.වනාන්තරයක් යනු පරිසර පද්ධතියක්. එවැනි පරිසර පද්ධතියක් කෘත්‍රිමව නිර්මාණය කිරීම පහසු කාරණයක් නොවෙයි. රුක් රෝපණයේ දී සිදුවන්නේ රුක්ගහණය ඉහළ යාමයි. ඒ නිසා වර්තමානයේ අපි ක්‍රියාත්මක කරන මෙවැනි වැඩ සටහන්වලින් අපේ රටේ තිබෙන සමස්ත රුක්ගහණය ඉහළ නංවාලීමට හැකියාව ලැබෙනවා.

    අපේ රටේ රුක් සංඛ්‍යාව ඉහළ නංවාලීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කර තිබෙනවා. එන් එකක් තමයි “හුස්ම දෙන තුරු” වැඩ සටහන. ඒ යටතේ ඉදිරි වසර හතර තුළ පැල මිලියන දෙකක් රෝපණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අපි “නැකතට පැලයක්” නමින් අප්‍රේල් මස 16 දින පෙරවරු 6.40ට විශේෂ රුක් රෝපණ නැකතක් යටතේ රැක් රෝපණ වැඩ සටහනක් අරඹනවා.

    ඒ යටතේ අඩු තරමින් පැල මිලියන 03ක් වත් රෝපණය කර ගැනීම අපේ ඉළක්කයයි. මෙම වැඩසටහන්වලට අපේ රටේ බාලදක්ෂ ව්‍යාපාරයේ සිටින පාසැල් සිසු දරුවන්ගේ සහයෝගයත් අපි ලබා ගන්නවා යැයි ද ලේකම්වරයා පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පැල ලක්ෂයක් රෝපණය කිරිමේ වැඩ සටහන සංකේතවත් කරමින් අමාත්‍යවරයා අතින් නා පැලයක් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී රෝපණය කරනු ලැබීය. එමෙන්ම පැල බාලදක්ෂයින් වෙත බෙදා දීම ද සිදුවිය. මෙම අවස්ථාවට බාලදක්ෂ කොමසාරිස් මිලින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya