අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාසමඟ එක්ව නිරත වූ ඉහළ පෙළේ දෙදින නිල සංචාරයේ දී විදේශ අමාත්‍ය කුරේෂි මහතා, තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා පාකිස්තානයේ අඛණ්ඩ සහයෝගීතාවය සහ සහයෝගය ලබා දීම සහතික කළේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා මෙම සබඳතාවය සමීප ආර්ථික සබඳතා දෙසට පරිවර්තනය වීම අවශ්‍යය යන මතය අමාත්‍යවරුන් දෙපළම අනුමත කළහ.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වාර්ෂික ද්වි-මාර්ග වෙළඳාමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීම සඳහා පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පවත්නා වාණිජ කටයුතු තුළින් බහුවිධ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූහ. එම ගිවිසුම යටතේ වර්තමාන ක්‍රියාකාරකම්වල සීමාවෙන් ඔබ්බට ආයෝජන, සේවා සහ මූල්‍ය වැනි නව අංශ වෙත මෙම ද්විපාර්ශ්වික වෙළඳ සබඳතාවය පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වයම යත්න දරති.
අපනයන වැඩි දියුණු කිරීම සඳහා නිෂ්පාදන අංශයේ පාකිස්තාන ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින කැමැත්ත විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ සංචාරයෙහි නිරත වූ පාකිස්තානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිස ද එතුමා සාදරයෙන් පිළිගත්තේය.
අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල දී සමීපව කටයුතු කිරීම සඳහා අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ. සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා විසින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ වෙනත් ණය ලබා දෙන්නන්ගෙන් වෙතින් කරන ලද පළමු ඉල්ලීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ අගැයීම ප්‍රකාශ කළේය. එය එතුමා හැඳින්වූයේ “ගෝලීය දකුණ සඳහා වූ වැදගත් ආරම්භයක්” ලෙසය.
අන්‍යෝන්‍ය වශයෙන් පාකිස්තානයේ සංචාරයක නිරත වීම සඳහා විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා ට ආරාධනයක් කළේය.