මොනරාගල ඩීඒජී ඇපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් (06) ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
"දේශීය ව්‍යවසායකයා අභියෝග, අවදානම භාර ගත හැකි අයෙක් විය යුතුයි. අභියෝගවලට, අවදානමට බිය නම් කිසිම අයකුට ව්‍යාපාරිකයකු, ව්‍යවසායකයකු ලෙස ඉදිරියට යාමට ලැබෙන්නේ නැහැ. කෝවිඩ් වසංගතයත් සමග අපේ රටේ අපනයනය ඉලක්ක කරගත් නිමි ඇඳුම් කර්මාන්තය සැලකිය යුතු දුෂ්කර අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපේ නිමි ඇඳුම් නිෂ්පාදකයන් හිමිකරගෙන සිටි අවස්ථාවන් යම් පමණකට අඩු වෙමින් තිබෙනවා. එසේ තිබියදී ඒ අවදානමට බිය නොවී, ඒ පිළිබඳව නිවැරදිව වටහා ගෙන අද ඩීඒජී ඇපරල් ආයතනය මෙරට ව්‍යවසායකයාට ආදර්ශයක් ලබාදී තිබෙනවා 'ජාත්‍යන්තර වෙළෙඳපොළ, තුළින් මතුවන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට ශ්‍රී ලාංකික ව්‍යවසායකයාට හැකියි' කියා.
මොනරාගල ප්‍රදේශයේ මෙවැනි ඇගළුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම මගින් සෘජු රැකියා අවස්ථාවන් 600ක් ලැබෙනවා වගේම පවුල් ඒකක 2100කට ඉන් ප්‍රතිලාභ අත්වෙනවා. මෙවැනි කර්මාන්ත ගමට පැමිණීම තුළින් තමයි අපට තරුණ දරුවන්ගේ විරැකියාවට විසඳුමක් ලබාදීමට හැකියාව ලැබෙන්නේ. මේ රටේ ඉපදෙන සෑම දරුවෙකුටම රජයේ රැකියාවක් ලබා ගැනීම අභියෝගයක්. බොහෝ දෙනෙකු රජයේ රැකියා අපේක්ෂා කළත් ඒ සියලුදෙනාගේම අපේක්ෂා සඵල කිරීමට හැකියාවක් නැහැ. වෙනත් රටවල ශ්‍රම සම්පතට සාපේක්ෂව අපේ රටේ ශ්‍රම සම්පත නිපුණතාවෙන් ඉහළ නිසා තමයි අපේ නිමි ඇඳුම්
සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් තිබෙන්නේ. ඒ නිපුණතාවයෙන් යුත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් උදා වන්නේ මෙවැනි කර්මාන්ත ගමට පැමිණීමෙන්. එම අවස්ථාව උදා කිරීමට මූලික වූ ඩීඒජී ඇපරල් ආයතනයට අපේ ස්තූතිය පළකර සිටිනවා.
අද අපි විදේශ විනිමය ලබා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා. අපේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙමින් පැවති විදේශ විනිමය ප්‍රමාණය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. සංචාරක ව්‍යාපාරය මගින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද සාපේක්ෂව අඩුයි. එවැනි තත්වයක් යටතේ මේ රටට විදේශ විනිමය ඇද්දවිය හැකි කර්මාන්තකරුවා කියන්නේ මිල කළ නොහැකි සම්පතක්. මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමගම අපේ රටට වසරකට රුපියල් බිලියන 3.5ක සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඩීඒජී ඇපරල් ආයතනය ආදර්ශයට ගෙන මේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ රටේ නිපුණතාවයෙන් යුත් ශ්‍රම සම්පතට සාධාරණ වැටුපක් ගෙවමින් අපනයන වෙළෙඳපොළ ජය ගත හැකි නිෂ්පාදන නිපදවීමට ඉදිරිපත් වන ලෙස මෙරට කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙතින් ඉල්ලා සිටිනවා."
මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කුමාරසිරි රත්නායක, සුමේධා ජී ජයසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, ඩීඒජී ඇපරල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කීර්තිරත්න, දිනුක ශ්‍රීමාල් ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද එක්ව සිටියහ.