ඒ අනුව මෙතෙක් අතරමැදියෙක් වශයෙන් ක්‍රියාකරමින් වී මිලදී ගනු ලබන වී මෝල් හිමියන්ගෙන් ගොවියා සහ පාරිභෝගිකයා අරක්ෂා කර ගැනීමට රජය අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මේ වන විට වී මෙන්ම බඩඉරිඟු කඩල, මුං ඇට,උඳු සහ කව්පි යන සාමාන්‍ය බෝග ගොවීන්ගෙන් මිලදී ගැනීමට ද අතරමැදියන් ඉදිරිපත් වි තිබේ. මෙම සියලුම නිෂ්පාදනයන් ඉතාම අඩු මුදලකට මිළදී ගෙනඅතරමැදියන් විසින් විශාල ලාබයක් තබා ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සිදු කෙරේ.
ගොවීන්ගෙන් වී කිලෝ එකක් රුපියල් 50/- , රුපියල් 51/- වැනි මුදලකට මිලදී ගෙන සහල් කිලෝ එක රුපියල් 97/- ක් වැනි මුදලකට අලෙවි කිරීමට හැකියාව තිබියදී අධික ලාබයක් තබාගෙන රුපියල් 115/-, රුපියල් 120/- වැනි ඉහළ විකිණිමට වී මෝල් හිමියන් ක්‍රියා කිරීම තුළින් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුව ඇත.
මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් අතරමැදියාගෙන් ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ඒ අනුව දිවයිනේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවල ගබඩා 105 ක් ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇත.
රටේ ජාතික අවශ්‍යතාවය උඳු මෙට්ට්‍රික් ටොන් 25,000 ක්, මුං ඇට මෙට්ට්‍රික් ටොන් 28,000 ක්, රටකජු මෙට්ට්‍රික් ටොන් 30,000 ක් සහ තල මෙට්ට්‍රික් ටොන් 12,000 ක් වශයෙන් හඳුනා ගෙන ඇත. මෙම ප්‍රමාණය අතරමැදියා විසින් මිලදී ගෙන විශාල මුදලකට අලෙවි කෙරේ. මෙසේ අතරමැදියාගෙන් ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගනිමින් අතරමැදියාගෙන් තොරව පාරිභෝගිකයාටත් ගොවියාටත් සාධාරණ මිලක් ලබා දීමේ ජාතික වැඩසටහනකට යාම රජයේ ඉලක්කය වී ඇත.
ඒ අනුව ගොවීන්ගෙන් වී මිළදී ගෙන රජය සතුව වී සංචිතයක් පවත්වා ගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම වසරේ වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක සංචිතයක් පවත්වා ගැනීමට අපේක්ෂිතයි.
මෙම වැඩපිළිවෙල යටතේ වී අලෙවි මණ්ඩලයේ සෑම ප්‍රාදේශිය කළමනාකරුවෙකුටම දිනපතා උදේ වී මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දීමටත්, ගොවිජන සේවා නිලධාරීන්ද සම්බන්ධ කර ගනිමින් කුඹුරට ගොස් වී මිලදී ගැනීමටත් වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙල යටතේ මේ වනවිට වී කිලෝ ලක්ෂ 50 ක් වී අලෙවි මණ්ඩලය වෙත ලැබී ඇත. මෙසේ වී මිළදී ගැනීමෙන් සහල් කිලෝ එකක් රුපියල් 97/- කට පාරිභෝගිකයින්ට ලබා දීමට රජය අපේක්ෂා කරයි.
අප්‍රේල් මස අග වන විට මෙම කන්නයේ ගොයම් කැපී අවසන් වන අතර වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල පවත්වා ගනිමින් එළඹෙන සිංහල අලුත් අවුරැද්ද වන විට රුපියල් 97/- ට පාරිභෝගිකයාට සහල් ලබා දීමට අපේක්ෂා කරයි.