පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    මෙවර මහ කන්නයේදී වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක්

    මාර්තු 12, 2021

    පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 7,42,000ක් අස්වද්දා ඇති අතර එමගින් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක අස්වැන්නක් අපේක්ෂා කරන අතර, යල කන්නයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් වනු ඇති බවත් ඒ අනුව අපේක්ෂිත මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5ක් බවත් එය ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


    වී මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට ගොවීන්ට ඒ මොහොතේම මුදල් ලබා දී වී මිලදී ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බවද එමගින් අතරමැදියන්ගේ මැදිහත්වීම අවම කර ගත හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.


    ඒ මහතා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. රටේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් වී නිෂ්පාදනය කර තිබුණද එ්වා මිලදී ගැනීමේදී තුන්වන පාර්ශවයන් මැදිහත් වීම නිසා මිල පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බවකාරක සභාවේදී අනාවරණය වූ අතර එම තත්ත්වය අනෙකුත් භෝග දක්වා ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවද සඳහන් විය.

    රජයක් ලෙස මෙම තත්ත්වය විධිමත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය. රට පුරා පිහිටා ඇති සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය කිරීම
    සඳහා ප්‍රතිපාදන ලබා දෙන බව ද අළුත්ගමගේ මහතා පැවසීය. ඒ අනුව ඉදිරි කාලය තුළදී රට පුරා පිහිටා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ල නවීකරණය කොට මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා එමගින් වැඩි දායකත්වයක් ලබා ගැනීමට කටයුතු කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව සිය ආයතන වල පවතින අඩුපාඩු දන්වා එවන ලෙස සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දන්වා යවා ඇති බවත් දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන නවීකරණය
    කිරීමට රුපියල් මිලියන 4.2ක් ලබා දී ඇති බවද එහිදී අනාවරණය විය.

    ගොවීන් සඳහා කෘෂි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට රජය සූදානම්ව ඇති අතර මේ වන විට භෝග 06ක් සඳහා රක්ෂණය නොමිලේ ලබා දීමට ද සැලසුම් කොට ඇති බවත් අනෙක්අයට මසකට රුපියල් 600ක් වැනි සුළු මුදලකට රක්ෂණය ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයට බඳවා ගන්නා නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අනිවාර්ය බවත් එය පසුගිය කාලය පුරාම අතපසු වූ ඉතා වැදගත් කරුණක් බවත් මෙහිදී සාකච්ඡා කෙරිනි. ගොවීන් වෙත නවීන තාක්ෂණය ගමන් නොකිරීමට ප්‍රධානතම හේතු එය බව සඳහන් කළ අමාත්‍යවරයා එම පුහුණුවීම් මේ වන විට ආරම්භ කොට ඇති බවද පැවසීය.

    පළමු වතාවට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර නිශ්පාදන සමාගමක් බවට පත් කොට තිබේ. එමගින් ගොවීන් හට කාබනික පොහොර භාවිතය හුරු කිරීමට ඉදිරියේදී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    පුරන් කුඹුරු නැවත අස්වැද්දීම සඳහා අක්කර එකකට රුපියල් 40,000ක පොළී රහිත ණයක් ලබා දීමට අමාත්‍යාංශය දැනටමත් කටයුතු කරමින් සිටී.එයට අමතරව ඒවා එළි පෙහෙළි කර ගැනීමට පවා ප්‍රතිපාදන ලබා දිය හැකි බවද මෙහිදී සඳහන් විය.

    මෙම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, එච්. නන්දසේන, අනුප පස්කුවෙල්, මධුර විතානගේ, රෝහණ දිසානායක, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් දිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අමරකීර්ති අතුකෝරළ, සිවඥාණම් ශ්‍රීතරන්, කින්ස් නෙල්සන්, අසංක නවරත්න, ගාමිණි වලේබොඩ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ, කෝකිලා ගුණවර්ධන සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya