කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිලිනොච්චිය ප්‍රදේශයේ වී මිලදී ගැනීමේ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා (17) එක් වුණු අතර එහිදී කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතයට දැඩි උනන්දුවක් දක්වන බව නිරීක්ෂණය විය.
ඒ අනුව ඔඩිඩුසුඩාන් හා කිලිනොච්චි සහකාර කළමනාකරු ප්‍රකාශ කළ පරිදි පහසුවෙන්ම වී මෙට්‍රික් ටොන් 10000 ක්, එම දිස්ත්‍රික්කයෙන් මිලට ගත හැකි බව අනාවරණය විය.
වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රමුඛතාවය ලබා දී ඇති දිස්ත්‍රික්කයන්ට අමතරව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඒ අනුව සමස්ථයක් ලෙස මසක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් මිලට ගැනීමේ වැඩපිළිවෙල මේ වන විට ඉතා සාර්ථක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රජය සතු වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක සංචිතයක් පවත්වාගෙන යාම තුළින් වී හා සහල් මාෆියාවෙන් ගොවියාත්,පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාව වෙයි. ඒ සඳහා වී අලෙවි කිරීමේ ක්‍රියාවලියට උතුරේ ජනතාව දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටියි. තරඟකාරි මිලට රජය වී මිලදී ගැනීමට තීරණය කිරීම තුළින් තමන්ට ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් උදා වූ බව එම ප්‍රදේශවල ගොවි ජනතාව පෙන්වා දුන් අතර වී ගබඩාවට පැමිණි ගොවි ජනතාව වී අලෙවි මණ්ඩලයට තම අස්වැන්න අලෙවි කිරීමට තීරණය කළ බවද ප්‍රකාශ කළහ.
උතුරු පළාතේ මෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ද ගොවි ජනතාව රජයේ වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙළට පූර්ණ සහය ලබාදෙන බවත් එම ප්‍රදේශ වල වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළහ.
කිලිනොච්චි සහ ඔඩිඩුසුඩාන් වී ගබඩා සංකීර්ණ මේ වන විටත් මුළුමනින්ම පිරි ගොස් ඇති අයුරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණු අතර කිලිනොච්චිය වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට ගිය අමාත්‍යවරයා වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලුවේය.
දිස්ත්‍රික්ක 6 යේ වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයට නිලධාරීන් 366 ක් යොදවා ඇති අතර ගොවි බිමටම ගොස් අත්පිට මුදලට වී මිලදී ගැනීමට එම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. උතුරු පළාත ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල ද මේ ආකාරයෙන් වී මිලදී ගැනීමේ රජයේ ක්‍රියාන්විතයට දැඩි උනන්දුවක් පවතී.