පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ලයිට් කණු දේශපාලනය ඉවරයි- "කිසිම පක්ෂයකට මූලික මිනිස් අයිතිවාසිකම් වෙන්දේසි කරන්න මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ

    මාර්තු 20, 2021

    "අතීතයේ පටන් නොයෙක් පිරිස් මේ ගමට ඇවිත් මොනතරම් පොරොන්දු දෙන්න ඇද්ද විදුලිය දෙන්නම් කියලා. මැතිවරණ වලදි ලංකාවේ හැම තැනකම එහෙමයි. නමුත් හැමදාම ආණ්ඩුවෙන් ආණ්ඩුවට ජනතාව මුලා කරන මේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්න දෙන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගැන වෙනස් විදියටයි බලන්නේ. රට විනාශය කරා ආවේ මේ විනාශකාරි බෙදීම් තුලින්. පක්ෂ වලට බෙදිලා ඇන කොටාගෙන අපිට රටක් හැටියට ඉදිරියට යන්න බැහැ. ඒ යුගය නිමා කරලා අද අපි අලුත් යුගයකට පා තබලා තිබෙන්නේ. ඒ නිසා අනාගතේ කිසිම දවසක කිසිම දේශපාලන පක්ෂයකට මිනිසාගේ මූලික අයිතිවාසිකම් වෙන්දේසි කරන්න, විකුණාගෙන කන්න මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ,   (18) පස්වරුවේ මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටි කළුකැලේ ගම්මානයට විදුලිය ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් දික්යාය ග්‍රාමසේවා වසමේ ඉතාම දුෂ්කර තත්වයක ජීවත්වන පවුල් 72කින් සමන්විතව පිහිටා ඇති කළුකැලේ ගම්මානයේ වැසියන් ජීවත්ව ඇත්තේ හේන් ගොවිතැන ප්‍රධානකොට ගත් තම ජීවන ආර්ථික රටාව අනුව යමිනි. මෙම ගම්මානයට විදුලිය ඇතුළු පහසුකම් ලබාදීමට පැවැති බොහෝ රජයන් යටතේ උත්සහයන් ගනු ලැබුව ද විවිධ හේතු මත ඒවා නිෂ්ඵල වී ඇත. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව වර්තමාන රජය ගෙනයන සංවර්ධන සැලැස්ම තුළින් මෙම ගම්මානය වෙත විදුලිය ලබාදීමට හැකිවී තිබේ.

    කළුකැලේ ගම්මානය පිහිටා ඇත්තේ, ලඟාවීමට ඉතා අපහසු පරිසරයකය. ගම වෙත ප්‍රවේශ වීම සඳහා තිබෙන පාලම් හයක්ම දැඩි ලෙස අබලන් තත්වයක පැවැති අතර විදුලිය කනු ඇතුලු අනෙකුත් උපාංග ප්‍රවාහනය කිරීම පහසු වූයේ නැත. කඳු මුදුනෙහි පිහිටා ඇති ගම්මානය වෙත කි.මී 3 කට වඩා දුරකට විදුලි රැහැන් ඇදිය යුතු බවද එහිදී හඳුනා ගත්තේය. ආවරණය කරන ලද අධිසැර රැහැන් භාවිතාකොට තරාපැවි ස්ථාපනය කර විදුලි සැපයුම ලබාදෙන ලෙස කරන ලද නිර්දේශය ප්‍රකාරව රුපියල් මිලියන 14.8 ඇස්තමේන්තුවකින්, නිසි නායකත්වය යටතේ නොපසුබස්නා වීර්යයෙන් ක්‍රියාත්මක වෙමින් අනේකවිධ දුෂ්කර වෑයමකින් අනතුරුව එතෙක් පරම්පරා ගණනාවක් අඳුරේම තම ජීවිත ගෙවා දැමූ කලුකැලේ ගම්මානයට ආලෝකය ගෙන ඒමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

    අපි අද මෙතනට ආවේ අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ලෙන්ගතු පණිවිඩයක් අරගෙන. අද පටන් මෙ විදුලි රැහැන් තුළින් නිවසට එන්නේ, ඇල්ලුවම විසිවෙන විදුලිය පමණක්ම නොවෙයි. රාජ්‍ය නායකයාගේ, රාජ්‍යයේ ආදරණීය බවයි. ඒක තමයි අපි අද ගෙනාව පණිවිඩය. මේ පණිවිඩය අද මේ ආකාරයෙන් මේ ස්ථානයට රැගෙන එන්න මුළින්ම අපේ අවධානය යොමුකල මාධ්‍යයන්ට අපේ ස්තුතිය හිමිවිය යුතුයි. අද ඔබේ වගේම මගේ ජීවිතයේ විශේෂිත හැරවුම් ලක්ෂයක්. කලුකැලේ ගම්මානයට ආව පළමු කැබිනට් අමාත්‍යවරයා තමයි මම. ඒ මට ආඩම්බරයක් නොවෙයි. ලැජ්ජාවක්. ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිතුමාගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් අද මේ කලුකැලේ වැසියන්ට ලැබුණේ විදුලිය නොවෙයි, ඔබේ මූලික අයිතියයි.

     

    වී.අයි. ලෙනින් සමාජවාදි සෝවියට් රාජ්‍ය නිර්මාණය කරලා, මුළු සෝවියට් දේශයම, කාන්තාර පවා විදුලියෙන් සන්නද්ධ කලා. මේ ආකාරයෙන් ක්‍රියාකිරීමේ තේරුම කුමක්ද කියලා එතුමාගෙන් ඇසූ පැනයකට දුන් පිළිතුර තමයි, විදුලිය යනු සමාජවාදයයි කියලා. මෙය තමයි විදුලියට ලැබුණ විශිෂ්ඨතම නිර්වචනය. මේ 21 ශතවර්ෂය වෙලත්, මේ ප්‍රදේශයේ තවමත් විදුලිය නොලැබුණ පවුල් තිබෙනවා. මේ ප්‍රදේශයේ ටර්පන්ටයින් වගා කරනවා. මේ තුළින් සමස්ත පරිසරයටම හානි වෙනවා. පොළොවේ ඇති ජල මූලයන් මුළුමනින්ම අවශෝෂණය කරගන්නවා. ඒ විතරක් නොවෙයි අරාව පාසලේ දරුවෝ 16 දෙනෙක් අධ්‍යාපනය ලබනවා. ඔවුන් කිලෝ මිටර් 15 ක් දිනකට පයින් යනවා පාසලට යන්න එන්න. නමුත් අපි ජීවත් වන්නේ 21 වන ශතවර්ෂයේ තුන්වන දශකයේ. මේ මොහොතේ ලෝකයේ සමහර රාජ්‍යයන් අගහරු මත නිවාස සැලසුම් කරනවා. දරුවෝ ඒ විද්‍යාව ඉගෙන ගන්නවා. අපි ඹන්ලයින් අධ්‍යාපනය ගැන කතා කරනවා නමුත් කළුකැලේ දරුවන්ට කුප්පි ලාම්පුව විතරයි. මේක මොනතරම් ඛේදවාචකයක්ද.

    ජනප්‍රිය මතය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම හොරු කියන එක. දියවන්නාවේ කිහිපදෙනෙක් වැරදි කළාම, සමස්ත පාර්ලිමේන්තුවටම ඒක ආදේශ වෙනවා. ඒ වගේ විදුලිබල මණ්ඩල සම්බන්ධයෙන් වන ජනප්‍රිය මතය තමයි, වැඩක් වෙන්නේ නැහැ, ලයිට් කැපුවම දුරකතනය ගන්නේ නැහැ. නමුත් විදුලිබල මණ්ඩලය සමස්තයක් වශයෙන් එහෙම නැහැ. මේ ලං.වි.ම. කියන අකුරු තැන ඇතුලේ ඉන්නවා මහා යෝධයෙක්. ඒ නිසා තමයි, මාසයක් වැනි කෙටි කාලයක් තුලදි මේ තරම් දුෂ්කර කදුකර ප්‍රදේශයක, අති දුෂ්කර මෙහෙයුමක යෙදිලා, අද මේ ආකාරයෙන් විදුලිය ලබාදෙන්න ක්‍රියාකළේ. මම විදුලි පවුලේ පියා. පුතාලගේ දක්ෂතා දකින විට පියාට ඒක ආඩම්බරයක්, ගෞරවයක්. ඒ නිසා මම මේ මොහොතේ පියා වශයෙන් ඉල්ලා සිටින්නේ, විදුලිබල මණ්ඩලයේ මේ විශිෂ්ඨත්වය ගැන සලකලා, එක්කෙනෙක් දෙන්නෙක්ගේ අලසකම් මත විදුලිබල මණ්ඩලය හෙලා දකින්නෙපා, ඔවුන්ගේ සේවය අගය කරන්න කියලයි. අපි ලංවිම සේවක සමස්තයත් සමගින් රටම වෙනස් කරන මාවතකට පැමිණිලා තිබෙන්නේ. බලාගාර වලින් පරිසරය වැනසෙනවානම්, අපි ඒ සම්බන්ධයෙන් වගකියන්න බැදි සිටිනවා. ගසක් සිටුවනවා කියන්නේ බලාගාරයක් ඇති කරනවා හා සමානයි. ඒ නිසයි අපි රුක් රෝපණයට මුල් තැන දෙන්නේ. මේ ප්‍රදේශයේ ටර්පන්ටයින් වගාව ඉවත්කර කැලෑ වවන්නත් අපි තීරණයකට පැමිණියා.

    2022 ට ඉර පායද්දි මේ රටේ විදුලිය නොමැති එකම නිවසක්වත් නැහැ. ඒක තමයි අපේ ඉලක්කය. ඒ ඉලක්කය අපි හඹාගෙන යන්න හෙට බදුල්ලෙන් ආරම්භ කරනවා. බදුල්ලේ පමණක් 2000 කට වැඩි නිවාස සංඛ්‍යාවක් තිබෙනවා විදුලිය නොමැතිව. මේ ආකාරයෙන් දීපව්‍යාප්තව විසිරී සිටින විදුලිය නොමැති සියලු පවුල් වෙත මේ වසරේ දෙසැම්බර් 31 වනවිට විදුලිය ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. එ වෙනුවෙන් දැනට තිබෙන චක්‍රලේඛ පවා වෙනස් කිරීමට සිදුවුණා. පිරිවැය කෙතරම් වුණත් අපි මෙම කාර්යය සත්භාවයෙන් යුතුව ඉටු කරනවා. රු. එක්කෝටි හතලිස් ලක්ෂයක් වියදම් කරලා කලුකැලේ එකලු කළා වගේ, රටේ ඕනෑම තැනක විදුලිය නොමැතිව සිටින ජනතාවට අපි විදුලිය ලබාදීමට කටයුතු කරනවා යැයි පැවසීය.

    මෙම අවස්ථාවට ග්‍රාමීය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ප්‍රමුඛ ජනතා නියෝජිතයින්, රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම්, මීගහකිව්ල ප්‍රාදේශීය ලෙක්ම්තුමිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, ඌව පළාත් සාමාන්‍යාධිකාරි විජිත වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කලුකැලේ ජනතාව සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya