මේ වන විටත් එම පනත සංශෝධනය කර නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී එම සංශෝධනයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙම පනත ක්‍රියාත්මක වුවද බලතල නොමැති වීම නිසා නීති ක්‍රියාත්මක කිරීමේදී ගැටළු මතුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ පිළිබඳව නිසි අධ්‍යනයක් කර අවශ්‍ය සංශෝධනන් සිදු කරන බවද කීය. මේ පිළිබඳව අධ්‍යනය කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද තම යෝජනා ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක් වූ වාරිමාර්ග අමාත්‍යවරයා , සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ ගංගා 123ම පිරිසිදු කිරීමට සහ ගං ඉවුරු ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයිද කීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වැව් තුන්දහසක් පමණ ඇති අතර ජල හිගය ප්‍රධාන ගැටළුවක්ව පවතී. උතුරු මැද මහ ඇළ සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර, හුරුළු වැවට ජලය ලැබීමෙන් අනුරාධපුරයේ සියළු වැව් වලට ජලය ලබා දිය හැකි බවත් මෙම ව්‍යාපෘති හරහා තව දුරටත් මෙම වැව් ආරක්ෂා කර ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අනුරාධපුර තිසා වැව සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ තිසා වැවේ ස්නානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.
පානීය ජලය ලබා ගැනීමට සහ ශ්‍රී මහා බෝධියට පැන් වැඩීමට තිසා වැව ඉදි කර ඇති බවත් අතීතයේ විසු රජවරු පවා මෙම වැව ස්නානය සඳහා භාවිතා නොකළ බව අතීත කතා වල සඳහන් වන බව පැවසූ අමාත්‍යවරයා නඩත්තු කම්කරුවන් යොදවා තවදුරටත් මෙම වැව රැකගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය. තිසා වැව අවට අදාළ දැනුවත් කිරීම සිදු කිරීම සඳහා තිසා වැව සුරකීමේ සංගමයට අදාළ අවසරය ලබා ඇති බවද තිසා වැව වෙනුවට විකල්ප දිය නෑමේ සුදුසු වෙනත් ස්ථාන හඳුන්වා දී ඇති බවත් ඒවා මේ වන විටත් සංවර්ධනය කරමින් පවතින බවද කිය.
මෑත කාලයේ අනවසර පදිංචි කරුවන් නිසා වැව අපිරිසිදු වී ඇති බවත් වැව් ආශ්‍රිත හෝටල් සහ වන්දනාකරුවන්,රථ වාහන සේදීම වැනි හේතු නිසා වැව අපිරිසිදු වී ඇති බවත් ඒ වෙනුවට අවශ්‍ය කටයුතු කර ඇති බවත කීය