“සංස්ථා බුලත් සැපේ” ඖෂධීය නිෂ්පාදනය දුම්කොළ වලින් නිදහස් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ( SLADC) සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද
ජාතික අධිකාරියේ (NATA) ඒකාබද්ධ ව්‍යාපෘතියකි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ පර්යේෂණයට අනුකුලව නිපදවා අති මෙම ඖෂධීය නිෂ්පාදනය තුල හුණු, පුවක්, දුම්කොළ වැනි පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු නොමැති අතර, ඉගුරුපියලි, කරාබු නැටි, එනසාල්, කුරුදු පොතු, මහඳුරු ආදි දේශීය කුළු බඩු අඩංගු වේ. විදුරුමස් රෝග වැළැක්වීම, දත් දිරා යාම
වැළෑක්වීම, දත්වල වර්ණය අවපැහැ ගැන්වීම වැළැක්වීම, මුඛ දුර්ගන්ධය වැළැක්වීම, ආහාර රුචිය වැඩි කිරීම, ආහාර දිරවීම ක්‍රමවත් කිරීම, දුම්කොළ හා පුවක්වලට ඇබ්බැහිවීම වැළැක්වීම මෙම ඖෂධීය නිෂ්පාදනය භාවිතයෙන් සිදු වේ. මෙම ඖෂධීය නිෂ්පාදනය රුපියල් 80 වැනි මුදලකට වෙළෙදපොලෙන් ලබාගත හැක.
ශ්‍රී ලංකාව තුල මුඛ පිළිකා සැදීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බව හෙළිවී ඇත. එබැවින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින් දුම් රහිත දුම්කොළ භාවිතයෙන් ශ්‍රී ලාංකේය සමාජයට සිදුවන හානිය අවම කිරීම අරමුණු කොටගෙන දුම රහිත දුම්කොළ අනුකමිටුව 2020 වසරේ ස්ථාපිත කොට ඇත. එම අනුකමිටුව විසින් අධිකාරි අධ්‍යක්ෂ මණ්ඩලයේ පුර්ණ මඟ පෙන්වීම මත දුම්කොළ සහිත බුලත් විට භාවිතය පිළිබද පර්යේෂණාත්මක, වෛද්‍ය විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක හා ඓතිහාසික කරුණු පාදක කොටගෙන දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතාගේ සංස්කරණයෙන් “බුලත් විටට සැබෑ අරුතක්” ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය සකස් කොට ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “මුඛ පිළිකාවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම අරමුණු කොටගෙන මෙම ඖෂධීය නිෂ්පාදනය එළිදැක්වීමට කටයුතු කිරීමට මුලිකත්වය ගත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියටත් සහ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවටත්, ඒ සදහා සහාය දැක්වූ සියළු දෙනාටත් මාගේ ගෞරවය පුද කරනවා. දුම් රහිත දුම්කොළ භාවිතය බලවත් සෞඛ්‍ය ගැටළුවක්.
අද සමාජය කෘත්‍රීම නිෂ්පාදන හැපීමට යොමුවන යුගයක දේශීය ඖෂධ සංයෝගයන් සැදුම්ලත් ඖෂධ හැපීමට ජනතාවට අවස්ථාව ලබාදී පිළිකා වැනි රෝගවලට ලක්ව අකාලයේ මරණයට පත්වන ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීම ගැන මම ඔබතුමන්ලාට ස්තූති වෙනවා. අප රටේ දිනකට තිදෙනෙකු මුඛ පිළිකා නිසා මිය යනවා. බොහෝ පිරිසක් අන්ත දුක් විදිනවා. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක රටක් ලෙස ප්‍රතිකාර සේවාවන් සදහා විශාල මුදලක් වැය කරන්නට සිදු වෙලා තිබෙනවා.
දුම්කොළ භාවිතයෙන් හා පුවත් හැපීමෙන් වැළැකීමෙන් මුඛ පිළිකා වළක්වා ගත හැකියි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය බටහිර වෛද්‍ය ක්‍රමයත්, දේශීය වෛද්‍ය ක්‍රමයත් එමෙන්ම පැරණි සම්ප්‍රධාය පිළිබදවත්, විශේෂයෙන්ම ආදිවාසි ජනතාව සමග සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණවලින් දුම්කොළ හැපීම සෞඛ්‍යයට ඉතාම අහිතකර බවට තහවුරු කර තිබෙනවා. අද දින දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය මගින් එළිදැක් වූ ශාස්ත්‍රීය සඟරාවේ දුම්කොළ පිළිබද විද්වත් අදහස් රාශියක් අන්තර්ගත වෙනවා. “සංස්ථා බුලත් සැපේ” නව ඖෂධීය නිෂ්පාදනය පිළිබදව තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරන්න. දුම්කොළ වලින් නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප සියළු දෙනාම කැපවිය යුතු වෙනවා.”
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් “සංස්ථා බුලත් සැපේ” ඖෂධීය නිෂ්පාදය ආදිවාසි නායක, වනස්පති ඌරුවරිගේ වන්නිලඇත්තෝ වෙත පරිත්‍යාග කිරීම මෙහිදී සිදු විය. එමෙන්ම “බුලත් විටට සැබෑ අරුතක්” ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිළිගන්වන ලදි.
2015-2016 සිදු කරන ලද ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව වයස අවුරදු 35-44 අයගෙන් සියයට 14.1 බුලත් විට හැපීම දිනපතා සිදු කරන අතර, අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ගෙන් සියයට 26.6 ක් බුලත් විට හපයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව 2020 වසරේ දී මෙරට තුල මුඛ පිළිකා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1325 කි. එනම් සමස්ත පිළිකා මරණ වලින් සියයට 7.9 කි. පිරිමින් අතර බහුලවම පවතින පිළිකා වර්ගය මුඛ පිළිකා වන අතර, ඔවුන් අතර පිළිකා මරණ වලින් සියයට 16.5 කට හේතු වී ඇත්තේ මුඛ පිළිකාවයි. බුලත්විට අන්තර්ගතවන දුම්කොළ සැපීම හේතුවෙන් පිළිකා ජනක 28 ක් ශරීරයට උරා ගනු ලබන අතර මුඛය, ග්‍රසනිකාව, උගුර සහ ගලනාලයේ පිළිකා ඇතිවීමට එය හේතුවක් වේ.
මෙම අවස්ථාවට මල්වතු මහා විහාරයේ අනුනායක ධූරන්දර නියංගොඩ විජිතසිරිනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ආදිවාසි නායක, වනස්පති ඌරුවරිගේ වන්නිලඇත්තෝ, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධණ හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ මහතා, ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනිය, නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය, බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.