පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    අවිස්සාවේල්ල, හංවැල්ල, පාදුක්ක ප්‍රදේශ සංවර්ධනයට- පාදුක්කට නව නගර සංවර්ධන සැලැස්මක්

    මාර්තු 31, 2021

    බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, හංවැල්ල, පාදුක්ක නගර ඇතුළු එම ප්‍රදේශවල සංවර්ධන සැලසුම් රැසක් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙයි.

    මෙම සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන සාකච්චාවක් පසුගිය දා බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී මෙම කරුණු අනාවරණය විය.

    මෙහිදී, දැනට යෝජිත සහ ක්‍රියාත්මක වන සියලු සංවර්ධන ව්‍යාපෘති සාකච්ඡාවට ගැනුණු අතර, එම ව්‍යාපෘති වර්ගීකරණයකට ලක්කර විමර්ශනය කිරීම මෙහිදි සිදුකෙරිණ.

    එම විමර්ශනයට අනුව ක්‍රියාත්මක වෙමින් පවතින, ක්‍රියාත්මක වී ප්‍රමාද වෙමින් පවතින, ක්‍රියාත්මක නොකළ සහ සැලසුම් සකස් නොකළ ව්‍යාපෘති ලෙස වන අංශ හතර යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිතයි.

    ඒ අනුව, බස්නාහිර පළාත දැවැන්ත සංවර්ධනයකට ලක් කරමින් ක්‍රියාත්මක කෙරෙන අවිස්සාවේල්ල, පාදුක්ක සහ හංවැල්ල ප්‍රධාන නගර හා ඒ ආශ්‍රිත ව්‍යාපෘති පිළිබඳ පළමුව අවධානය යොමු කෙරිණි. මෙම ප්‍රධාන නගර 03 ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කළ ව්‍යාපෘති 05 ක් හදුනා ගැනුණි.

    හංවැල්ල සහ පාදුක්ක නගර සංවර්ධන ව්‍යාපෘතිය, සීතාවකපුර සංවර්ධන ව්‍යාපෘති 2021 වසර, සීතාවකපුර සංවර්ධන ව්‍යාපෘති 2022 සහ 2024 තෙවසර, හංවැල්ල, පාදුක්ක, ඉළුක්ඕවිට, තුම්මෝදර, අංගම්පිටිය සංවර්ධන ව්‍යාපෘති 2022, 2023 සහ 2024 තෙවසර සහ පාදුක්ක බහුවිධ සේවා මධ්‍යස්ථානය මෙලෙස වර්ගීකරණය කර ඇත.

    මෙම ව්‍යාපෘතිවල දැනටමත් සංවර්ධන කටයුතු අරඹා ඇති බව මෙහිදී අනාවරණය විය.

    මෙහි දී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කඩිනමින් මෙම සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවයි.

    “පාදුක්ක යනු ශීඝ්‍රයෙන් දියුණු වන විශේෂ ප්‍රදේශයක්. පාදුක්කට අධිවේගී මාර්ගයක් ඒමට නියමිතයි. පාදුක්කට හුදෙකලා සංවර්ධනයක් නොකළ යුතුයි. කිසියම් ප්‍රදේශයක් සංවර්ධනය කළ යුත්තේ ප්‍රදේශයේ සංවර්ධනයට රුකුලක් වන ආකාරයටයි. මීපේ පහළ වෙල්යාය ජල පෝෂිත ප්‍රදේශයක් කළ යුතුයි. මෙය සංචාරක ආකර්ෂණය වඩවන්නක්. එය විවෘත උද්‍යානයක් බවට පත් කළ යුතුයි. ගලගෙදර පාලම සුන්දර ස්ථානයක්. හෝමාගම සිට සීතාවකට ඇතුළුවන දොරටුව ඒක. එහි සුන්දරත්වය රැකගත යුතුයි. පරිසරය ආරක්ෂා වන ආකාරයට ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති මෙහි ඉදිකළ යුතුයි. ජනාධිපතිතුමාත් නිතර ම කියන්නේ පරිසරය රැකගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි කියලා”

    යනුවෙන් ද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

    මෙම සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

    “ජනාධිපතිතුමා හැමවිටම අපේක්ෂා කළේ කතාව නොවේ ක්‍රියාවයි. එම ක්‍රියාව ක්‍රියාත්මක කිරීමයි. එතුමාට අවශ්‍ය වැඩ. මේ තත්ත්වය යටතේ සකස් කළ සැලසුම්වල අඩුපාඩු පවතිනවා නම් ඒවා හැකි ඉක්මණින් නිවැරදි කළ යුතුයි. ”

    යනුවෙන් ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය.

    නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ දැනටමත් සකසා තිබෙන සංවර්ධන සැලසුම්වල අඩුපාඩු පවතිනවා නම්, ඒ සියල්ල නිවැරදි කර වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි.

    “මීගොඩ සහ කොස්ගම නගර ඉදිරියේදී සංවර්ධනය කරන්න. පාදුක්කට අලුත් සංවර්ධන සැලසුමක් හදන්න. හදපු සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න.”

    යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේ ය.

    සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් දැනටමත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බව සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ සඳහන් කළේය.

    “ඉදිරිපත් වූ සමහර කරුණුවල තොරතුරු ඉදිරියේදී නිවැරදි කරන්නම්. ව්‍යාපෘති පිළිබඳ විමසා බලා ක්‍රියාත්මක කළ යුතු නම් එයටත් සූදානම්. මේ සියල්ල පොදු ජනතා යහපත උදෙසා වන ව්‍යාපෘතියි. ඒ හේතුව මත මෙය ක්‍රියාත්මක කළ යුතුයි.”

    යනුවෙන් ද සභාපතිවරයා පවසා සිටියේය.

    මෙහිදී හෙළිදරව් වූයේ 2021 වසරේ සිට 2024 වසර දක්වා සීතාවක ප්‍රාදේශීය සභාව විසින් අවිස්සාවේල්ල නගරයේ ව්‍යාපෘති 03 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවයි.

    ඒ යටතේ 2021 වසර සඳහා අවිස්සාවේල්ල නගරයට සංවර්ධන ව්‍යාපෘති දෙකක් ද, එහිම මාණික්කාවත්තට සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන ව්‍යාපෘති තුනක් සහ අවිස්සාවේල්ල නගරයේ රජයේ ඉඩමක විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බව ද අනාවරණය වුණි.

    තව ද සීතාවක ප්‍රාදේශීය සභාව 2022 සහ 2024 අතර කාලය තුළ තවත් ව්‍යාපෘති 07 ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් සකස් කර තිබිණ.

    මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම, අවිස්සාවේල්ල බස් නැවතුම්පල පිටුපස රජයේ ඉඩමක වාහන රථගාලක් ඉදිකිරීම, කුඩගම හංදියත් හා අමිතිරිගල පාරත් අසල පාලමට යාබදව දෙවෙනි පාරක් ඉදිකිරීම, මාණික්කවත්තට පොදු සේවා සැපයීම් ස්ථානයක් ලබාදීම, රජයේ ඉඩමක බැංකු සහ මූල්‍ය පරිශ්‍රයක් පිහිටුවීම, ඉඩ පහසුකම් සහිත රථගාලක් ඉදිකිරීම සහ ශාන්ත මේරී විදුහල අසල ඇවිදීමේ මංතීරුවක් සැකසීම සමඟ අවශ්‍ය සේවා පහසුකම් සඳහා ස්ථානයක් ඇතිකිරීම එම සැලසුම් වේ.

    හංවැල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹුණු ව්‍යාපෘතිය යටතේ සේවා සහ පහසුකම් සලසන තවත් ව්‍යාපෘති 07 ක් යෝජනා වී තිබේ.

    බස් නැවතුම්පල සංවර්ධනය කිරීම, බස් රියැදුරු විවේකාගාර ඇතිකිරීම, බස් නැවතුම්පලට රථ ප්‍රවේශ වන ස්ථාන 12 ක් අලුතින් සැකසීම, පොදු වැසිකිළි පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, ආරක්ෂක ඒකකයක් පිහිටුවීම සහ නව ප්‍රවේශ පත්‍ර කවුළු ඉදිකිරීම, පාදුක්ක නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව බහුවිධ සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීමට හා බිම් මහල සහ ඉහළ මහල් 02 කින් යුත් ගොඩනැගිල්ලක් මේ අනුව ඉදි කෙරේ.

    මෙම සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව තවත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් සකස් කර තිබේ.

    ඒ යටතේ ව්‍යාපෘති 09 ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

    2022 වසර සඳහා හංවැල්ලේ ප්‍රදේශ පහකට ව්‍යාපෘති 05 ක් ද, පාදුක්ක, ඉලුක්ඕවිට, තුම්මෝදර, අංගම්පිටිය යන ප්‍රදේශවලට එක් ව්‍යාපෘතියක් බැගින් ද වන සේ මෙම ව්‍යාපෘති 09 ක්‍රියාත්මක වේ.

    2023 වසර සඳහා ව්‍යාපෘති 03 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    2024 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හතර නිමවීමෙන් පසු මෙම සංවර්ධන ක්‍රියාවලිය සම්පූර්ණ වෙයි.

    මෙම ව්‍යාපෘති නවය ප්‍රධාන ව්‍යාපෘතිවලට අමතරව ක්‍රියාත්මක කරන උප ප්‍රධාන ව්‍යාපෘති වීම විශේෂත්වයක් වේ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු අධික්ෂණය කරනු ලබයි.

    මෙදින පැවැත්වූ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්චාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ යන මහත්වරු ඇතුලු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya