විනාශ වෙමින් පවතින පාරිසරික සාධක ආරක්ෂා කර ගැනීමට මූලිකත්වය දෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුවේ දී අවධාරණය කෙරේ.
කොළඹ දිස්ත්‍රික්කය පදනම් කරගෙන බිහිවන දැඩි නාගරිකත්වය හමුවේ වෙනස් වෙමින් පවතින පාරිසරික සාධකයන් ආරක්ෂා කර ගැනීම සහ සංචාරක අවකාශයන් හඳුනා ගනිමින් ක්‍රියාකාරී සැලැස්මක්
දියත් කිරීමට මේ යටතේ කටයුතු කරන බව 30 පෙරවරුවේ පැවති කොළඹ දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුවේ දී වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා -
මෙරට වඳවීගෙන යන ශාක හා සතුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි. හරිත නගර ඇති කිරීම, හරිතාගාර ඇති කිරීම ඇතුළු වැඩසටහන් දැනටමත් ආරම්භ කිරීමට සැලසුම් සකස් කොට
තිබෙනවා. බෙල්ලන්විල අත්තිඩිය වනජීවී කලාපය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා. අනවසර ඉදිකිරීම්, ගොඩ කිරීම් ආදිය නැවැත්වීමට කළමනාකාර සැළැස්මක් යටතේ කටයුතු කිරීමට තීරණය කරනු ලැබුවා.. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පවතින සීමිත වන සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා වන භූමි මැනීමේ කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා. නව වන සංරක්ෂණ මායිම් මාසයක් තුළදී ප්‍රකාශයට පත්කළ යුතුයි.
සියලූ සංවර්ධන කටයුතුවලදී පරිසරය රැකගැනීමේ චක්‍රලේඛයන් වල අඩංගු කරුණු 12ක් අනිවාර්යයෙන්ම සපුරාලිය යුතුයි. වනාන්තර විනාශයන් සහ වන සතුන් විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දේශපාලන තනතුරු නොසලකා කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම තුළින්
ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කළේය.
සංචාරක වැඩසටහන්
කොළඹ දිස්ත්‍රික්කය නීලහරිත නගරයක් බවට පත්කරලීමේ ක්‍රියාදාමයේ දී සංචාරක මර්මස්ථාන හඳුනා ගනිමින් එම ස්ථානවලට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුව ඇත. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ සංරක්ෂණය, ඇල මාරග අශ්‍රිතව හරිත කලාප ඇතිකිරීම, මුහුදු තීරය සහ සතුන් ආරක්ෂා කිරීම ඇතුළු පාරිසරික සාධකද ධනාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර එම කලාප සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමට පියවර ගැනේ.
පරිසරය රැක ගැනීමේ සහ නීල හරිත නගරයක් බිහි කිරීමේ නව ක්‍රමවේදයට අනුව සංචාරකයින් ආකර්ශණය කර ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ආකර්ෂනීය සංචාරක ස්ථාන හඳුනා ගනිමින් සිතියම් ගත කිරීම මගින් නාගරික සංචාරක කලාප ඇතිකිරීමටත් ඒ යටතේ රැකියා අවස්ථා රැසක් ඇතිකිරීමටත් පියවර ගැනේ.
සමෘද්ධි වැඩසටහන්
කොළඹ දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුවේ දී සමෘද්ධිලාභීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ලැබූ අතර සමෘද්ධිලාභීන් ඉලක්ක කරගත් ගෘහ ආර්ථික සවිබල ගැන්වීම,ප්‍රජාමූල වැඩසටහන් සහ මූල්‍ය ආයතන හා සේවා පහසුකම් ශක්තිමත් කිරීම හා ස්වයං රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක් වූ සමෘද්ධි අමාත්‍ය සෙහාන් සේමසිහ මහතා-
සමෘද්ධිලාභින් සඳහා සියයට 7% ක ණය පහසුකම් ලබාදීම දැනටමත් ඉතා සාර්ථකව සිදු කරමින් පවතිනවා. සමුර්ධි වැඩසටහන යටතේ විවිධ කර්මාන්ත වල නියැලෙන්නන් සඳහා තාක්ෂණික දැනුම පුහුණුව ආදිය ලබාදීම සඳහා අනිකුත් අමාත්‍යාංශ වල සහයෝගයෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරනවා.
ඉදිරි වසර තුළ පවුල් ලක්ෂ දෙකක් අඩු ආදායම්ලාභී තත්ත්වයෙන් මුදාගැනීම සඳහා රුපියල් මිලියන 10,000 ක මුදලක් වෙන්කර තිබෙනවා. මීට අමතරව සමෘද්ධි ප්‍රතිලාභි නාමලේඛණ සංශෝධනය දැන් සිදු
කෙරෙමින් පවතීනවා. 2015 සමෘර්ධි ලබාදුන් ක්‍රමවේදය ව්‍යාකූල වීම නිසා වර්තමානයේ දී සමෘර්ධි වැඩසටහනේ යම් ව්‍යාකූලත්වයක් පැවතියද නව නාමලේඛණ සකස් කිරීම යටතේ ඉතා ඉක්මනින් එම
ව්‍යාකුලත්වය ඉවත් කරනු ලැබේ.
හැත්තෑ දෙදහසක් වන ආබාධිතයින් සඳහා දැනටමත් ආබාධිත දීමනාව ලබා දෙන අතර තවත් පණස් හත්දහසක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා.ඉතා ඉක්මනින් මෙම පිරිසට ආබාධිත දීමනාව ලබාදීම සඳහා කටයුතු කරමින් පවතිනවා.
දරිද්‍රතාවය පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ග්‍රාමීය කමිටු මගින් සමෘර්ධි සුදුසුකම් ලාබීන් තෝරගන්න අතර දැනට සමෘර්ධි ලබා ගන්නා කිසිදු අයෙකුගේ සමෘර්ධි ප්‍රතිලාභ කපා හැරීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෘෂී කර්මාන්තය.
කාබනික පොහොර සකස් කිරීමේ වැඩසටහන සඳහා රුපියල් බිලියනයක මුදලක් වෙන් කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් බවට පත් කරන බවත් ඉදිරි මාස 6ක කාලය තුළ දී කොමර්ෂල් පොහොර සමාගමෙන් කබනික පොහොර නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙයි.
දැනට මෙරට කාබනික පොහොර අවශ්‍යතාවයෙන් සියයට එකක පමණ ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කරන අතර ඉදිරි වසර තුළදී එම ප්‍රමානය සියයට තිහක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබේ. පරිසරය ආරක්ෂා කිරීමේ තවත් පියවරක් ලෙසත් ජනතාවට සහන ලබාදීම උදෙසාත් ඩීසල් බලාගාර ඉවත් කර පුනර්ජනනීය බලාගාර ඇතිකිරීම සඳහා රජය දැනටමත් කටයුතු කරමින් තිබේ.
ප්‍රවාහනය
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලැබූ අතර කොළඹ නගරයේ ඉලක්ක කරගෙන බස්රථ දෙසීයක් නාගරික මාර්ග වල ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. මෙහිදී ග්‍රාමීය මාර්ග ඉලක්ක කරගනිමින් කුඩා බස් රථ පන්සීයක් යෙදවීම සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් පවතින බව අවධාරණය කෙරිණි.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.