පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය පර්යේෂණාගාරය පිළිබඳ ගැටලුව සම්බන්ධව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය අතර සාකච්ඡාවක්

    අප්‍රේල් 02, 2021

    කොවිඩ් වසංගතය සාමාන්‍යකරණය වීමේදී රජයට ආදායමක් ලැබෙන ආකාරයට රටට හිතකර අයුරින් කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය පර්යේෂණාගාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සංචාරක
    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය අතර සාකච්ඡාවක් සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.


    ගුවන්තොටුපළ වෛද්‍ය පර්යේෂණාගාරය පෞද්ගලීකරණය කිරීමක් සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය විසින් සිදු කළ කරුණු දැක්වීමට අනුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම සාකච්ඡාව කැඳවනු ලැබීය.

    මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ගුවන් තොටුපළ වෛද්‍ය පර්යේෂණාගාරය පෞද්ගලීකරණය කිරීමක් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයක් ජනතාවට ලබාදි ඇති බවයි.

    එය සම්පූර්ණයෙන් නිවැරදි වියයුතු අතර ගෝලීය කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගුවන්තොටුපළ අභ්‍යන්තරයෙ පැය ගණනක් රස්තියාදු වීමකින් තොරව ඉතා කෙටි කාලයකදී තමන්ගේ පී.සී ආර් වාර්තා ලබාගෙන සංචාරය ආරම්භ කිරීමට අවස්ථාව සැලසීම සංචාරක අමාත්‍යවරයා වශයෙන් තමාගේ වගකීමක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    වෛද්‍ය පරීක්ෂණ සඳහා ගුවන්තොටුපළ අභ්‍යන්තරයෙහි පැය ගණනක් රස්තියාදු වීමට සිදුවන බවට සංචාරකයින්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් පවතී.

    මෙම තත්ත්වය තුළ පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ තම පී.සී.ආර් වාර්තාව ලබාගෙන තම සංචාරය ආරම්භ කිරීමට සංචාරකයාට අවස්ථාව සැලසෙන පරිදි ගුවන්තොටුපළ පර්යේෂණාගාරය විධිමත් කිරීම නව යෝජනාවේ අරමුණයි.

    ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබූ ආයතන වලට සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. නමුත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සම්බන්ධයෙන් ද නැවත සැලකිල්ලට ගැනීමට තමන් සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රටට වැඩදායි ආකාරයට කටයුතුකිරීමට එකඟත්වය පළ කරනු ලැබීය.

    ගුවන්තොටුපළ පවත්වාගෙන යාමේ නීතිරීතිවලට අනුකූලව වෛද්‍ය පර්යේෂණ ආයතනයක් ගුවන්තොටුපල අභයන්තරයෙ හි පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැනට වෛද්‍ය පර්යේෂණාගාරය පවත්වාගෙන යනු ලබන දේශීය ගුවන් වාර පර්යන්තය ඉදිරි මැයි මාසය වන විට ආරම්භ කිරීමට නියමිත දේශීය ගුවන්වාර සඳහා නිදහස් කර ගැනීමටද අවශ්‍ය බව පෙන්වා දුන්නේය. නමුත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමය පෙන්වා දෙන ආකාරයට ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයින් පැය ගණනක් රස්තියාදු නොකර කඩිනමින් පී.සී.ආර් වාර්තා ලබා ඔවුන් සංචාර
    සඳහා පිටත් කර හැරීමට අවස්ථාව සැලසෙන ආකාරයට නව ගුවන්තොටුපල රසායනාගාරය පිහිටුවීම සඳහා ඒකාබද්ධ සාකච්ඡා ආරම්භ කළ හැකිව තිබේ .

    ඉදිරි මැයි ජුනි මාසවල දී ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන සංචාරක කාල සීමාව තුළ ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් රැසක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඉන්දියාව සමග ඒකාබද්ධව සිදු කරන සංචාරක බුබුළු වැඩසටහන් ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

    එවැනි වාතාවරණයක් තුළ දී ගුවන් තොටුපළේදි රසායනාගාර පරීක්ෂණ සහ අනිකුත් සියලු පරීක්ෂණ සිදුකර ගනිමින් ඉතා කෙටි කාල සීමාවක් තුළ විදේශිකයින් සංචාර සඳහා පිටත් කර හැරීමට අවශ්‍ය ආකාරයට ඉදිරි සැලසුම් සකස් කර ගත යුතුව තිබේ.

    කොවිඩ් වසංගතය සාමාන්‍යකරණය වීමේදී රජයට ආදායමක් ලැබෙන ආකාරයට රටට හිතකර අයුරින් ගුවන්තොටුපළ රසායනාගාරය පවත්වාගෙන යාම සඳහා සියලු පාර්ශ්ව සමඟ එකඟත්වයකින් කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙවැනි සාකච්ඡාවක් කැඳවීම පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
    වෙත සිය ප්‍රසංශාව පළකළ අතර නව ගුවන්තොටුපළ පර්යේෂණාගාරය වෙනුවෙන් තම සංගමයේ අදහස් හා යෝජනා ඉදිරි දින වලදී සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමට අදහස් කරන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya