පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු රැස්වීම් අද (05) රැස්වෙයි- මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක්

    අප්‍රේල් 05, 2021

    පාර්ලිමේන්තු රැස්වීම් අද (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

    අද (05) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් ඇසීමට අවස්ථාව ලබා දීමට සභානායක හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන එනු ලැබූ යෝජනාවකට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    එමෙන්ම එදිනට මැතිවරණ ක්‍රම ව්‍යුහයේ පවතින අඩුපාඩු සොයා බලා ඒවා සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහ ලේකම්වරයා පැවසීය.

    එමෙන්ම 2019 අප්‍රියෙල් 21 දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 04 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.

    මෙයට අමතරව, දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී
    විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

    අප්‍රේල් 06 වැනිදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගනු ලබනු ඇත.

    මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනාවකට අනුව සභාවකල් තබන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රශ්න 02ක් ඇසීම‍ සඳහා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනෙන පැයක කාල සීමාවෙන් විනාඩි 20 ක කාලයක් ලබා දීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළ වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya