පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරනවා - ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා- ජනපති කියයි

    අප්‍රේල් 23, 2021

    රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජිවිතවලට වන බලපෑම ඉහළය. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

    (22) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීහු සමග පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත්විය යුතුය. පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර ලබාදීමට සැලසුම් කරන බව ජනාධිපතිතුමා කියා සිටී. වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    තමා බලයට පත් කිරීමෙන් ජනතාව ප්‍රතිපත්තිමය වෙනසක් අපේක්ෂා කළහ. රට වෙනුවෙන් එම අපේක්ෂා ඉටු කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමෙන් අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සීනි සමාගම අත්කරගත් ලාභය මිලියන 1100කි. වසර 20කට ආසන්න කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 2500කට ආසන්න පිරිසක් ස්ථීර කිරීමට, උසස්වීම් සහ ප්‍රසාද දීමනා දීමට එමගින් හැකි වූ බව ලංකා සීනි සමාගමේ සභාපතිවරයා පැවසීය.

    ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළින් පාඩු ලැබූ ආයතන රැසක් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බව සභාපතිවරු පෙන්වා දුන්හ.

    “සෞභාග්‍යයේ දැක්ම” තුළින් ආයතන ළගා විය යුතු ඉලක්ක පැහැදිළිව දක්වා තිබේ. කැබිනට්, රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ ආයතන සහ අත්කරගත යුතු ප්‍රගතිය පැහැදිළිව සඳහන් කර ඇත. සාමුහික වගකීමක් ඇතිව වැඩ කර ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිපත්තිමය වෙනස ළගා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිතුමා සභාපතිවරුන්ට පැවසීය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya