පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පිටරටින් පැමිණෙන්නන් මගින් නැවත මැලේරියාව රෝගය හිස එසවිය හැකියි - කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අනුලා විජේසුන්දර

    අප්‍රේල් 23, 2021

    2013 වසරේ සිට ලංකාවේ මැලේරියාව ශුන්‍යව පවත්වා ගැනීමට අප සමත් වුවත් පිටරටින් පැමිණෙන්නන් මගින් නැවත රෝගය හිස එසවිය හැකි බව කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව පැවසුවේ, ලෝක මැලේරියා දිනය වෙනුවෙන් අද (23) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අතීතයේ ශ්‍රී ලංකාවේ බහුල රෝගයක් වූ මැලේරියාව වර්තමානය වන විට අප රටෙහි ශුන්‍ය වූ රෝගයක් බවට පත්ව ඇත. එනම් වාහක මදුරුවා අප රටේ ඇතැම් ප්‍රදේශ වල හමුවුවද පරපෝෂිතයා ලංකාවේ ශුන්‍ය කර ඇත. එනමුත් මැලේරියාව බහුලව ඇති අප්‍රිකානු රටවල සහ රෝගය ව්‍යාප්ත වූ රටවල සිට පැමිණෙන සංචාරකයන් හරහා රෝගය නැවත අප රටට පැමිණ හිස එසවිය හැකි බව මෙම මාධ්‍ය හමුවේදී විශේෂයෙන් අවධාරණය කෙරුණි.

    වසර සීයක ඉතිහාසය තුළ අප රට මැලේරියා රෝගය හේතුවෙන් විවිධ අභියෝග වලට මුහුණ පාන ලදී. අතීතයේ ලංකාවේ රෝගීන් ආරෝග්‍ය ශාලාවන් වෙත ඇතුල් කිරීමේ ප්‍රධානම හේතුව වූයේ මැලේරියා රෝගයයි. 1935දී ශ්‍රී ලාංකිකයන් මිලියන 05කට මැලේරියා රෝගය වැළදිණි.එම වසරේ 80,000ක් දෙනා මෙම රෝගය නිසා ජීවිතක්ෂයට පත්විය. 2010 වසරෙන් පසු කිසිදු ලාංකිකයෙකු මැලේරියා රෝගය නිසා මියගියේ නැත.

    මැලේරියාව ළමුන්ට සෑදීමෙන් නිරන්තර රෝගී වීම, නීරක්තිය, ශරීර වර්ධනය අඩුවීම සහ මානසික බලපෑම් පවා ඇතිවිය හැකිය. මැලේරියාව අප රටෙහි බහුලව හමුවන්නේ උතුරුමැද ප්‍රදේශයෙහිය. 2012න් වසර 04කට පසු එනම් 2016දී ශ්‍රී ලංකාවට ආවේණිකව කිසිදු මැලේරියා රෝගියෙකු හමුනොවූ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් වශයෙන් 2016 වසරේ සැප්තැම්බර් මස 05 වනදා නම් කර ඇත.

    2012 වසරේ නොවැම්බර් මාසයේ සිට අඛණ්ඩව නවවන වරටත් අප රට මැලේරියාවෙන් තොර රටක් බවට පත්විය. අප රට මැලේරියාව තුරන් කළ රටක් වුවද නැවත රට තුළ මැලේරියා රෝගය හිස එසවීමේ හැකියාවක් පවතී. අප රටෙහි පවත්නා දේශගුණය, උෂ්ණත්වය, පරිසර සාධක මෙන්ම වාරි පද්ධතිය ආදියද මේ සදහා හේතු විය හැක.

    ලෝක මැලේරියා දිනය සෑම වසරකම අප්‍රේල් මස 25 වන දිනට යෙදෙන අතර මෙවර අප රටෙහි මැලේරියා දින තේමාව මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් යන්නයි. 2020දී විදේශයන්හි සිට පැමිණි මැලේරියා රෝගීන් 30ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.

    මැලේරියාව බහුල රටවල් වන්නේ අප්‍රිකානු රටවල්, ඉන්දියාව හා ඇතැම් දකුණු ආසියානු රටවල්ය. මැලේරියාව බහුල රටක සංචාරය කරන්නේ නම් මැලේරියා මර්දන පූර්ව ප්‍රතිකාර ඖෂධ නොමිලේ ලබාගත හැක. මැලේරියා පූර්ව ප්‍රතිකාර ඖෂධ විදේශගත වීමට සතියකට පෙර ඇරඹීම වැදගත් වෙයි. එමෙන්ම විදේශගතව සිටින කාලය පුරාවටම මැලේරියා මර්දන ඖෂධ භාවිතා කළ යුතුය.

    මැලේරියාව බහුල රටක සිට පැමිණ අවුරුද්දක් ඇතුලත උණ වැළදුනහොත් රුධිර පරීක්ෂාවක් කරගත යුතු අතර එය නොමිලේ කරගැනීමේ හැකියාවක් පවතී. එවැනි රටක සිට පැමිණියේ නම් මාස 1න්, 6න් සහ අවුරුද්දකින් නැවත රැධිර පරීක්ෂාවක් සිදුකරගැනීම වැදගත් වන අතර මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් සපයන සේවාවන් දවසේ පැය 24 පුරාම සතියේ දින 7ම නොමිලේ ලබාගත හැක.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් මහතා, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ( මහජන සෞඛ්‍ය i) එස්. එම් ආනල්ඩ් මහතා යන විද්වත් මඩුල්ල සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya