එමෙන්ම කොවිඩ් 19 වෛරසයට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තීකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 03ක මුදලක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදීමටද ජපන් රජය කටයුතු කිරීම සම්බන්ධව කතානායක අබේවර්ධන මහතා සිය ස්තූතිය පළ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නව නිලධාරී මඩුල්ල පත්කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති රැස්වීමේදී ය.
කතානායකවරයා මුලසුන හෙබවූ මෙම රැස්වීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එයට
මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර මුලින්ම ද්වීපාර්ශවීය සම්බන්ධතා ගොඩ නැගුණේ ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හරහා බවත් නමුත් පසු කාලීනව වඩාත් වටිනා දේශපාලන හා ආර්ථිකමය සබඳතා ලෙස එය වර්ධනය වූ බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
“සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති ජපාන සාම සමුළුවට සහභාගි වූ ආසියානු රටවල් 09 අතරින් එක් රටක් වූයේ ශ්‍රී ලංකාවයි.එයට සහභාගි වූ එවකට ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව අදටත් ජපානයේ ජනතාව අගය කරනවා” යැයිද කථානායකවරයා පැවසීය.
“ශ්‍රී ලංකාව සහ ජපානය අතර තානාපති සබඳතා ඇති වූයේ 1952 දී. ඒ සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවයි. පසුව ජපාන තානාපති කාර්යාලයක් කොළඹ දී 1952 දී පිහිටවනු ලැබුවා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ජපානයේ දී ඇරඹුණේ 1953 දී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශවික සබඳතා වලට මේ වන විට වසර 69ක් සම්පූර්ණ වෙනවා” යැයි ද ඒ මහතා කීය.
1993 වසරේ සිට ශ්‍රී ලංකාව හා ජපානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙරට අතර සංචාරය කළ බවත් එමෙන්ම දෙරටේ නායකයන් ද්වීපාර්ශවීය සංචාර සිදු කළ බවත් පැවසූ මහින්ද යාපා මහතා ඒ් අතරින් ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතාගේ 1994 ශ්‍රී ලංකා සංචාරය කැපී පෙනෙන බව ද සඳහන් කළේය.
මෙම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ව්‍යවස්ථාදායකයන්ගේ සබඳතා මෙන්ම ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයිද කථානායක වරයා කීවේය.
මෙම රැස්වීමේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට පත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහි ලේකම්වරයා ලෙස පත් විය.
උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වරාජා ගජේන්ද්‍රන්, ජේ. සී. අලවතුවල සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මන්ත්‍රීවරුන් පත් වූ අතර, භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පත්විය. නියෝජ්‍ය ලේකම්වරුන් ලෙස සිවඥානම් ශ්‍රීතරන් මහතා මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාත් තේරී පත්වූහ.