ඔහු මේ බව පැවසුවේ අද දින (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයට පිළිතුරු වශයෙනි.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාව මිලදී ගැනීමට ගිවිසුම්ගතව සිටියත් ඉන්දියාවේ ඇතිවුණු කොවිඩ් 19 රෝගීන්ගේ හදිසි වැඩිවීමත් සමග ඉන්දියාව ඒන්නත් පිටරට වලට යැවීම තාවකාලිකව නතර කිරීමෙන් ලංකාවේ ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයකට දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ ගැටලුවක් මතුවූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වන විට ඉන්දුනීසියාවේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක අතිරික්ත ඇස්ට්‍රාසෙනිකා ඒන්නත් ඇති බවට ලද තොරතුරු අනූව ඒම රටවල් වලින් ඒවා ලබාගැනීමේ සාකච්ඡා අරඹා ඇති බවයි.
ඒමෙන්ම ජනපතිතුමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීන් සමගද මේ පිලිබදව සාකච්ඡා කර ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් නිෂ්පාදනය කරන රටකින් හෝ දැනට මිලදී ගැනීම සදහා කටයුතු කරන බවද බොහෝ විට ඉදිරි මාසය තුළ එය ලබාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මෙම විෂය පිළිබද විශේෂඥයින් අදහස් දක්වා ඇති පරිදි පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින් සහ දෙවන මාත්‍රාව තවත් එන්නත් වර්ගයකින් ලබාගැනීම ගැටලුවක් නොවන බවද අවධාරණය කළ අමාත්‍යවරයා මේ පිළිබද නුදුරේදීම ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් අවසන් තීන්දුවක් ගනු ඇති බවද සදහන් කළේය.
යම් යම් රටවල් විසින් නුදුරේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබදව විවිධ තත්ත්ව වාර්තා ඉදිරිපත් කළද වැදගත් වන්නේ මේ මොහොතේ ව්‍යවසනය පාලනයට කළ හැකි සියලු දේ කිරීම බවත් ආණ්ඩුවක් වශයෙන් ව්‍යවසනය පාලනයට කළයුතු සියල්ල ඉටුකරමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.
ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබද විශේෂඥයින් පවසන පරිදි මෙම එන්නත් නව ප්‍රතිශක්තිකරණ එන්නත් වන බැවින් මේවා සියල්ලෙහි අදහස් නිරන්තරයෙන් අලුත් වන බවද ඒ අනූව එන්නත් දෙක ලබාදෙන කාල පරතරය පිළිබදව කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ඔවුන් පවසන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
පසුගියදා අලුතින් මෙරටට ලැබුණු එන්නත් තොග ජනතාවට ලබාදෙන ක්‍රමව්දය පිළිබදව මාධ්‍යවේදියෙකු කළ විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ, දෙවනි මාත්‍රාව පිළිබදව රටේ ප්‍රශ්නයක් නොමැති බවත් පළමු මාත්‍රාව ලැබීමෙන් පමණක් ඉතා ඉහල ප්‍රතිශක්තිකරණයක් ඇතිවෙන බව පර්යේෂණ වලින් සොයාගෙන ඇති බැවින් ලැබී තිබෙන එන්නත් වලින් වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බවයි. දෙවැනි මාත්‍රාවෙන් කරනුයේ පළමු මාත්‍රාවෙන් ලද ප්‍රතිශක්තිකරණය පොඩි ප්‍රමාණයක් වැඩිදියුණු කිරීම බවද ඔහු පැවසුවේය.
එමනිසා පළමු මාත්‍රාව වැඩි පිරිසකට ලබාදීම උපාය මාර්ගිකව වැදගත් බවද ඒ හේතුවෙන් ලැබී ඇති එන්නත් උපරිමය භාවිතා කරමින් වැඩිදෙනෙකුට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.