පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    සෑම අවස්ථාවකදීම හැඳුනුම්පත අතැතිව ගමන් යා යුතුයි- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 12, 2021

    සෑම අවස්ථාවකම අත්‍යවශ්‍ය රාජකාරි හැරුනුකොට වෙනත් අවස්ථාවකදී මාර්ගයට පැමිණෙන්නේ නම් හැඳුනුම්පතේ අංකය අනුව පමණක් ගමන් බිමන් යාමට හැකි බවත්, සෑම අවස්ථාවකදීම හැඳුනුම්පත අතැතිව ගමන් යායුතු බවත් හැඳුනුම්පත නොමැති නම් විදේශ ගමන් බලපත්‍රය රැගෙන යා හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    රජය විසින් පනවන ලද නව සංචරණ සීමා හා නිරෝධායන නියෝග සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට පොලිස් මූලස්ථානයේදී අද(12) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.

    ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය, විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය හෝ රියදුරු බලපත්‍රයේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් එවැනි අය ඔත්තේ දිනයකදී ගමන් කිරීමට හැකියාවක් තිබෙන බවත්, අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් නම් එවැනි අයට ඉරට්ටේ දිනයකදී ගමන් ගැනීමට හැකියාවක් පවතින බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    කෙසේ වෙතත් බිංදුව අංකය ඉරට්ටේ අංකයක් ලෙස සළකා අවසන් අංකය බිංදුව තිබෙන පිරිස් සඳහා ඉරට්ටේ දිනයකදී ගමන් කිරීමට හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    යම් අයෙක්ට විදේශ ගමන් බලපත්‍රය භාවිතා කළ හැකි වන්නේ තම ජාතික හැඳුනුම්පත නොමැති අවස්ථාවකදී පමණක් බවත්, යම් අයෙක් බලපත්‍ර දෙකක් වංචනිකව භාවිතා කරන්නේ නම් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ ආකාරයේ බලපත්‍රයක් නොමැති නම් අදාළ ග්‍රාමසේවා වසමේ ග්‍රාමනිලධාරීවරයාගෙන් ග්‍රාම නිලධාරී සහතිකයක් ලබා ගැනීමට හැකියාව තිබෙන බවත්, විදේශිකයින් සිටී නම් ඔවුන්ට ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිතා කිරීමට හැකියාවක් තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මෙය සෞඛ්‍ය කටයුතු හෝ රාජකාරි කටයුතු සඳහා යෙදෙන පිරිසට බලනොපාන බවත්, රජයේ හෝ පුද්ගලික අංශයේ සේවයේ නියුතු කෙනෙකු රාජකාරි කටයුතුවල නිරත වෙනවා නම් එම පිරිසට එම රාජකාරි සඳහා සුපුරුදු පරිදි වාර්තා කිරීමට හැකියාවක් තිබෙන නමුත් අනෙකුත් කටයුතු සඳහා මෙම ක්‍රමය මැයි 31 දක්වා බලපැවැත්වෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුනි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya