තිස් තුන් වසක් රටේත් ජාතියේත් ගෙවීගිය අඳුරුතම යුගය නිමා කළ එම දවස සමස්ත ජාතියේම විජයග්‍රහණයේ දිනය බැව් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ත්‍රස්තවාදය පරාජය කර දොළොස් වසරක් පිරීම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි. ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි යැයි ලොව බොහෝ රටවල් පෙන්වා දුන්නද එවක ශක්තිමත්, නොපසුබට මෙන්ම දූරදර්ශී, සෘජු රාජ්‍ය නායකත්වයත් වීරෝදාර හමුදාවන්ගේ කැපවීමත් නිසාවෙන් ලොවක් මවිත කරමින් එම ජයග්‍රහණය රටට උදාකර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා සිය පණිවුඩය මගින් පෙන්වා දෙයි. ලෙයින්, දහඩියෙන්, කඳුලින් මෙන්ම ජීවිතයෙන් මාතෘ භූමිය ආරක්ෂා කර දුන් වීරෝදාර රණවිරුවන් ජාතියේ සදාතනික විරුවන් යැයිද කිසි කලෙක, කිසි ලෙසක ඔවුන් ජාතියට අමතක නොවන්නේ යැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පවසයි.
එම වීරෝධාර රණවිරුවන් ජාතියට ඉටුකළ අමිල මෙහෙවරට අනගිභවනීයත්වයක් ගෙන දිය හැක්කේ යලි කිසිදා ත්‍රස්තවාදයට ඉඩක් නොතැබීමෙන් බවත් එහෙත් අවාසනාවන්ත ලෙසින් ගෙවුණු යහපාලන සමයේ ඒ සඳහා ඉඩ පෑදුනු බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා සිහිපත් කරයි.
වත්මන් ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ රජය පළමුවද, දෙවනුවද, තෙවනුවද ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ත්‍රස්තවාදය පරාජයකර දොළොස් වසරක් සපිරෙන විට රටත් රටෙහි ජනතාවටත් එය සුවිශේෂී භාග්‍යයක් බවත් හෙතෙම පෙන්වා දෙයි. ලොව මානුෂීයම හමුදාව ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා හමුදාව වත්මන් කොවිඩ් ව්‍යසනය හමුවේ දිවි පරදුවට තබා ඉටුකරන මෙහෙවර තුළින් සමස්ත ලෝකයටම ආදර්ශයක් ලබාදී ඇතැයිද එය ලොවක් ඉදිරියේ ජාතියම ලැබූ ගෞරවයක් යැයිද අමාත්‍යවරයා සිය පණිවුඩය තුළින් පෙන්වා දෙයි.
රටත් රටට ජනතාවත් අහිමි කරමින් තිස්තුන් වසක් ඇදී ගිය අමිහිරි ත්‍රස්තවාදය රට මහා ඛේදවාචකයකට ඇද දැමූ කළු වළාවක්, අඳුරු යුගයක පැතිකඩක් බවත් එය පරාජය කරමින් ලද ජය යථාර්ථවත් වනුයේ ශක්තිමත් සුරක්ෂිත රටක් බිහිවීම තුළින් බවත් වත්මන් රජය ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වී සිටින බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.