පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කුමන ප්‍රභේදය පැමිණියද එහි පැතිරීම එකලෙසයි.. ජනතාව සෞඛ්‍ය පුරුදු වෙනස් නොකරමින් අනුගමනය කිරීම වැදගත්- මහාචාර්ය නීලිකා මලවිගේ

    මැයි 19, 2021

    කුමන ප්‍රභේදය පැමිණියද එහි පැතිරීම එකලෙස සිදුවන බවත් මෙහිදී ජනතාව සෞඛ්‍ය පුරුදු වෙනස් නොකරමින් අනුගමනය කිරීම වැදගත් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අනුක වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

    නීලිකා මලවිගේ මහත්මිය මේ බව පැවසුවේ අද දින (19) ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ජාතික මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේදී කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය නමින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමිනි.

    කුමන ප්‍රභේදය මෙරටට පැමිණියද ඒ පිළිබදව අධ්‍යයනය කරන්නේ අදාල තොරතුරු සෞඛ්‍ය අංශ, වසංගත අංශ සහ කොවිඩ් පාලන අංශ වෙත ලබාදී එම අංශ ඒ සදහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිසා බවත්, මහජනතාවට ඒ සම්බන්ධයෙන් වෙනස් කළ යුතු දෙයක් නොමැති බවද එනම් බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහ ඉන්දියානු ප්‍රභේදය පැතිරීමේ වේගය වැඩි බැවින් වෙනදාට වැඩියෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සෙනග ගැවසෙන ස්ථාන වලට නොයා අත්‍යවශ්‍යම දෙයකට හැර නිවසින් බැහැර නොයා කටයුතු කිරීම වැදගත් බවද මහාචාර්යතුමිය අවධාරණය කළාය.

    කොවිඩ් ප්‍රභේද එකසිය ගණනක් ඇතත් භයානක ප්‍රභේද වශයෙන් බ්‍රිතාන්‍ය ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය, බ්‍රසීල ප්‍රභේදය සහ ඉන්දියානු ප්‍රභේදය යනුවෙන් ප්‍රභේද 04ක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට නම්කර ඇති බවද, එම ප්‍රභේද දරුණු ප්‍රබේද ලෙස සැලකීමට හේතු වන්නේ ව්‍යාප්තිය වැඩිවීම, ආසාදනය වුවහොත් සංකූලතා දරුණු වීම, මියයාම වැඩිවීම සහ එන්නත් ලබාගත් අයටද වැළදීම යන සාධක හේතුවෙන් බවද මහාචාර්යවරිය පැවසුවාය.

    දැනට ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත, සයිනොෆාම් එන්නත, ස්පුට්නික් එන්නත සහ ෆයිසර් එන්නත යන එන්නත් 04 ලියාපදිංචිකර ඇති බවත් මේ වන විට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත, සයිනොෆාම් එන්නත, ස්පුට්නික් එන්නත යන එන්නත් තුන අප රටෙහි ලබාදෙමින් පවතින බව සිහිපත් කළ මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසුවේ කිසිම එන්නතක් ලබාගෙන පහුවෙනිදා වන විට ආරක්ෂාවක් නොලැබෙන අතර ප්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණු වී රෝගයෙන් ආරක්ෂා වීමට කාලයක් ගතවන බවයි.

    ඒ අනූව එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වීම සදහා දින 21ක කාලයක් ගතවන බවද, මාත්‍රා 02 අතර පරතරය සති 04ක්ද, දෙවන මාත්‍රාව ලබාගෙන සති 02කින් පසුව එනම් සමස්ථ එන්නත්කරණයෙන් සති 06කට පසු නිසි ආකාරයෙන් ප්‍රතිශක්තිකරණය සෑදීමක් සිදුවන බවද හොද ප්‍රතිශක්තිකරණයක් සෑදෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසුව බවද ඇය පැවසුවාය.

    කාර්යාල වලදී පිරිස් ඒකරාශී වෙමින් ආහාර ගැනීම සිදු නොකළ යුතු බවද, මෙම වකවානුවේ සමබර ආහාර වේලක් ගැනීම මගින් තමන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය හොදින් පවත්වාගෙන යාමට හේතු වන බවද මහාචාර්යවරිය අවධාරණය කළාය.

    ගොඩාක් වෛරස් ප්‍රභේද ගැබිණි අවස්ථාවේ දරුණු ලෙස බලපාන බැවින් කොවිඩ් හමුවේ ගැබිණි මවුවරුන් ආරක්ෂා වීම වැදගත් බව පෙන්වාදෙමින් එන්නත් 04න්ම කිසිදු බලපෑමක් කිරිදෙන මවුවරුන් සදහා නොමැති බවද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියාය.

    ලොව පුරා එන්නත් වැඩිපුර සෑදුවේ වූහාන් ප්‍රභේදයට බවද, වූහාන් ප්‍රභේදය යම් යම් වෙනස්කම් වලට භාජනය වෙමින් රටවල් වල පැතිර ගොස් ඇති බවද සිහිපත්කරමින් ඇය වැඩිදුරටත් පැවසුවේ මෙම එන්නත් බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවේ ඉතා හොදින් ආරක්ෂාවක් ලබාදෙන බවට දත්ත ඇති බවයි.

    දකුණු අප්‍රිකානු, බ්‍රසීල සහ ඉන්දියානු ප්‍රභේද හමුවේ තරමක් ආරක්ෂාව අඩුවිය හැකි වුවද, ලොව ඇති සියලු කොවිඩ් මර්දන එන්නත් ඒවායින් කළයුතු ඉතාමත් වැදගත් කාර්යයභාරය මැනවින් ඉටුකරන බවද, එනම් එන්නත්කරණයට ලක්වූවෙකු හට රෝගය වැළදීමේ ප්‍රවණතාවය අඩු කිරීම, යම් ලෙසකින් රෝගය වැළදුණහොත් දරුණු තත්ත්වයට පත්වීම සහ මියයෑමේ ප්‍රවණතාවය අඩුකිරීම සිදුකරන බවද පැවසුවාය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya