විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වනදා ඇරඹෙන අතර අයදුම්පත් යොමුකිරීම මැයි 21 සිට ජුනි 11 රාත්‍රී 12 දක්වා සිදුකළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ ය.
2020 උසස්පෙළ විභාගයට පෙනීසිට සමත්වූ දරුවන් හට විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම සදහා අද (19) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව කීය.
අයදුම්පත් ලබාගැනීමට හැකි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය අත්පොත නිකුත් වන අතර එදිනම දරුවන් හට ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයන්ගෙන්, පොත් අලෙවිසැල් වලින් ලබාගත හැකි බව ද ඔහු කියා සිටියේය.
මෙම වසරේ ඊට සමාන්තරව සියලුම විශ්ව විද්‍යාල වල එනම් ජාතික විශ්ව විද්‍යාල 16ක මෙම පොත අලෙවිය සදහා පහසුකම් සලසා ඇති අතර දරුවන් අන්තර්ජාලය ඔස්සේද තම අයදුම්පත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
අයදුම්පත් යොමුකිරීමේ ක්‍රම කිහිපයක් ඇති බව සදහන් කරමින් ඔහු කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ අනිවාර්යයෙන් තම අයදුම්පත යොමු කළ යුතු අතර දෙවනුව තමන් පුරවාගත් පෝරමයෙහි පින්තූරයක් ගෙන අත්සන යොදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුවත් කර ඇති සියලුම ඊමේල් පහසුකම් මාර්ගයෙන් යොමුකරන ලෙසයි. ඒ සදහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට අයදුම්පත් යොමුකළ යුතුය.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වන පොත විහ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් භාගත කිරීමේ පහසුකම් සලසා ඇති අතර මෙම ක්‍රම 02ටම අයදුම්පත් එවීමට කටයුතු කරන ලෙසත් පිරවූ පෝරමයේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවීමට සලස්වන ලෙසත් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේය.
මෙවර සරසවි ප්‍රවේශය ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් බදවා ගන්නා සරසවි ප්‍රවේශය වන බවද දරුවන් 41755ක් මෙවර විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.
ඇතැම්විට බොහෝ අත්වැරදීම් හේතුවෙන් දරුවන්ට විශ්ව විද්‍යාල වරම් අහිමි වන බැවින් විශේෂ කරුණු කිහිපයක් පිළිබදව දරුවන් හට අවවාද ලබාදීමටද සභාපතිවරයා අමතක නොකළේය.
එම විශේෂ කාරණා කිහිපය මෙසේය.
01. අන්තර්ජාලය සහ විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත් පිරවීමට ඇරඹීමට ප්‍රථම විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි 05 වන කොටස ඉතා හොදින් කියවිය යුතු අතර අයදුම්කරන්නේ කෙසේද යන්න පිළිබද එම කොටසෙහි සදහන්ව ඇත.
02. විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත් පිරවීමට ඇරඹීමට ප්‍රථම ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට ප්‍රවිශ්ඨ වීමට හැකිදැයි පරීක්ෂා කර බලන්න. එම විද්‍යුත් තැපැල් ලිපිනය ඔබටම අයත් වූවක් විය යුතුයි. මන්දයත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේදී ඔබ සමග සන්නිවේදනය කිරීමට යොදාගන්නේ මෙලෙස ඔබ විසින් සපයන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා විද්‍යුත් තැපැල් මාර්ගයෙනි.
03. අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‍රය පිරවීමට ලියාපදිංචි වීමේදී ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුලත් කර යුතු අතර එසේ ඇතුලත් කිරීමේදී නිවැරදිව ඇතුලත් කිරීමට සුපරීක්ෂාකාරී වන්න.
04. ඔබ අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මුහුණදුන් විෂය සංකලනය අනූව ඔබ තේරී පත්වීමට අපේක්ෂා කරන විශ්ව විද්‍යාලය සදහා පාඨමාලා උපරිම සංඛ්‍යාවක් ඔබේ කැමැත්තේ අනුපිළිවෙල අනූව ඇතුලත් කරන්න. එසේ ඇතුළත් කිරීමේදී පසුගිය වසරේ කඩඉම් ලකුණු මත තීරණ නොගෙන ඔබ තේරී පත්වීමට බලාපොරොත්තු වන පාඨමාලා සදහා අයදුම් කරන්න.
05. අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‍රය පිරවූ පසු එය යොමුකිරීමට ප්‍රථමයෙන් ඔබ විසින් ඇතුලත් කරන ලද සියලු තොරතුරු නිවැරදි දැයි ඉතාම හොදින් පරීක්ෂා කර බලන්න.
06. මුද්‍රිත අයදුම්පත්‍රය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවීමට ප්‍රථමයෙන් තමාගේ අත්සන අදාල ස්ථානයෙහි නිසි පරිදි තැබීමට වගබලාගන්න.
ලංකාවේ ඕනෑම ස්ථානයක යම්කිසි දරුවෙකුට අයදුම්පත පිරවීමේදී යම්කිසි ගැටලුවක් ඇත්නම් 1919 අංකය අමතා ලබාගත හැකි අතර එමගින් සියලු කරැණු රජයේ ප්‍රවෘත්ති අංශය මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමුකරන අතර ඒ ඔස්සේ දරුවන්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක් නිරාකරණය කරගැනීමේ හැකියාව පවතින බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේය.
අන්තර්ජාලයේ සදහන් සියලුම දුරකතන අංක ඇතුලත්ව වෙනම කණ්ඩායමක් මේ සදහා දරුවන්ට සහාය දීමට සේවා නියුක්ත කර ඇති බව සිහිපත් කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට රජය ඉදිරි සතියේ දින ගණනාවක් නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර එමනිසා 21 වනදා සිට මෙම පොත අලෙවිය සදහා තබා ඇති අතර අයදුම්පත් යොමුකිරීමට සිසුන් හට සති 03ක කාලයක් ලබාදෙන බවයි.