පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    වරාය නගර පනත කිසිසේත් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්නේ නෑ- අමත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

    මැයි 21, 2021

    වරාය නගර පනත තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට හානියක් සිදුනොවන බවත්, එය කිසිසේත් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්නේ නැති බවත්, අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.


    ඊයේ( 20 වනදා) පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් වරාය පනත සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(21දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ මහජන මුදල් පාලන බලය තිබෙන්නේ මෙරට පාර්ලිමේන්තුවට බවත්, මෙම පනතින් එය කිසිසේත් වෙනස් වී නොමැති බවත්, එසේ වුවද ආයෝජන ලබා ගැනීම සඳහා බදු සහන අවශ්‍ය බැවින් මෙම පනතින් කර ඇත්තේ හුදෙක් එම බදු සහන ලබා දීමේ කටයුත්ත බවත්, බදු සහන ලබා නොදී ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බැවින් බදු සහන ලබා දුන්නද එය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු බලයට යටත්ව බවත්, ජී එල්. පීරිස් අමාත්‍යවරයා පැවසීය.

    මෙම වරාය පනත සම්බන්ධයෙන් වන මූල්‍ය රෙගුලාසි කෙටුම්පත් කළද එය පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතු බවත්, එම රෙගුලාසි අනනුකූල බව හැඟේ නම් එවා ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙන බවත්, බදු සහන හා වරප්‍රසාද දිය හැක්කේ පාර්තිමේන්තුවේ අනුමැතියට යටත්ව පමණක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වරාය නගරයෙන් ලබාගන්නා සියලුම මුදල් ලැබෙනුයේ මහ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බවත්, මෙම මුදල් ඒකාබද්ධ අරමුදලට බැරවූ පසුව එම මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විගණකාධිපතිවරයාට බලය තිබෙන බවත්, මහචාර්ය ජී එල්. පීරිස් මහතා පැවසීය.

    මෙම මුදල් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, රේගුව, මහජන උපයෝගීතා කොමිසම වැනි ආයතන හරහා නියාමනය වන බවත්, එය කිසිසේත් වෙනස් නොවන බව වරාය පනතේ 74 වැනි වගන්තියේ සඳහන් වන බවත් ජී එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙම වරාය නගරය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මුල්‍ය ගණුදෙනු පිළිබඳ තොරතුරු සැපයීමේ පනත, මුදල් විශුද්ධිකරණ පනත, ත්‍රස්තවාදීන්ට මුදල් රැස්කිරීම වැළැක්වීමේ පනත, මූල්‍ය පනත වැනි පනත් වරාය නගරය තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.

    එක රටක් එක නීතියක් යන සංකල්පයට මෙය පටහැනි බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ වරාය නගරයේ භූමිය ශ්‍රී ලංකාවේ අන්තර්ගත කොටසක් වන බවත්, වරාය නගරය තුළ දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ විධි විධාන සංග්‍රහය වැනි සියලු නීති පනත් වරාය නගරය තුළ ක්‍රියාත්මක බවත්ය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙරට යුද හමුදාවට පොලිසියට හෝ වෙනත් නීති ක්‍රියාත්මක කරන ආයතනවලට එම නගරයට ඇතුලුවීමට නෛතික හැකියාවක් තිබෙන බවත්, මෙම වරාය නගරය වෙන රටක් සේ සැළකෙන බව කෙරෙන චෝදනා මිත්‍යාවක් බවත්ය.
    වරාය නගරය සම්බන්ධයෙන් මෙරට අධිකරණයට සම්පූර්ණ නෛතික බලය තිබෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ අභියාචනාධිකරණය යටතේ රිට් ආඥා ලබාගැනීමට හැකියාවක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් නඩුවක් ගොනුකිරීමට පවා විධිවිධාන සළසා තිබෙන බවත් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya