පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රටෙන් අඩකට සීමාවී තිබෙන පිරිසිදු පානීය ජල පහසුකම 2025 වසරවනවිට සමස්ත රට වැසියන්ටම හිමිකර දෙනවා - අග්‍රාමාත්‍ය

    මැයි 22, 2021

    රටෙන් අඩකඩ සීමා වී තිබෙන පිරිසිදු පානීය ජල පහසුකම 2025 වසරවනවිට සමස්ත රට වැසියන්ටම හිමිකර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (21) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති තුනක් සූම් තාක්ෂණය ඔස්සේ එකවර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය, මෙලෙස අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්විය.


    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන වර්ෂ 2025 දී සැමට ජලය තේමාව යථාර්ථයක් බවට පත්කරමින් ජනතා අයිතියට පත්වූ මෙම ජල සම්පාදන ව්‍යාපෘති ඔස්සේ කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 377ක ජනතාවට සෙත සැලසෙනු ඇත.

    දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමයට රුපියල් කෝටි 1022ක්, ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමයට රුපියල් කෝටි 230ක් සහ හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමයට රුපියල් කෝටි 32ක් වැය කර ඇති අතර මෙම ඉදිකිරීම් වලින් වැඩි ප්‍රතිශතයක් දේශිය ඉංජිනේරුවන් විසින් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සහ දේශීය සමාගම් වල මැදිහත් වීමෙන් ඉටුකර තිබේ.


    ජල යෝජනා ක්‍රම තුන ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.


    මුළු රටටම පිරිසිදු පානීය ජලය ලබා දීමේ ඉලක්කය 2025 දි සම්පූර්ණ කිරීම අප රජයේ ඉලක්කයක්. එම ජාතික වැඩසටහනේ ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘති තුනක් අද දිනයේ කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ලේ ජනතාව වෙනුවෙන් ජනතා අයිතියට පත්වෙනවා.

    මිත්‍රවරුනි,

    අපි දන්නවා පෘතුවියෙන් සියයට 71 ක්ම වැහිල තියෙන්නේ ජලයෙන්. හැබැයි එහෙමෙයි කියල අපිට ඒ සියලුම ජලය භාවිතයට ගන්න බැහැ. එතැනින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ සාගර ජලය. ඒ නිසා ඒ ජලය අපිට බොන්නත් බැහැ. කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගන්නත් බැහැ.
    එහෙම බැලුවම ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජලය තියෙන්නෙ සියයට 03 ක් විතර. ඒ ප්‍රමාණයෙනුත් බීමට ගන්න පුළුවන් ප්‍රමාණය සියයට 0.5 කටත් අඩුයි. මිනිස්සුන්ට බොන්න තියෙන මේ වතුර ටිකත් අද මිනිස්සුන්ගෙම ක්‍රියාකාරකම් නිසා දූෂණය වෙමින් යනවා.
    ලෝකය ගත්තත් ලංකාවේ ගත්තත් මේ සත්‍ය ඇතැම්විට ඔබත් අත්විඳිනවා. අණ පනත්වලින් විතරක් මේවා නවත්වන්න පුළුවන් කමක් නැහැ.
    ඒ නිසා පිරිසිදු ජලයේ ඇති වැදගත්කම පාසල් කාලයේ පටන්ම දරුවන්ට කියලා දෙන්න ඕනි. ඔවුන් තමයි දවසක මේ රටේ අනාගතය භාරගන්නෙ. අපි අද දවසේ කළ යුත්තේ ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් ජලය සුරක්ෂිත කිරීමයි.
    මුළු ලෝකයමත් මේ ගැන අද අවධානය යොමු කරලා ජල සංරක්ෂණයේ වැදගත්කම කතාකරනවා.
    අපේ රටේ රජවරු එදා ජලයේ ඇති වටිනාකම තේරුම්ගෙන අනාගතය බලලා කරපු කාර්යයන්වල ප්‍රතිඵල අපි අදත් භුක්ති විඳිනවා. මහ වැව් තනමින් වාරි තාක්ෂණයෙන් විශිෂ්ටත්වයට පත්වුණා වගේම ඒ හැමතැනම ජල සංරක්ෂණය සිදුවුණා.


    මිත්‍රවරුනි,

    අහසින් වැටෙන එක දිය බිදක් වත් මිනිසාගේ ප්‍රයෝජනයකින් තොරව නිකරුණේ මහ මුහුදට යන්න දෙන්න එපා කියලා එදා මහා පරාක්‍රමබාහු රජතුමා පැවැසූ ප්‍රකාශය අදටත් වලංගුයි.
    පසුකාලීනව අපේ රටේ කෘෂිකර්මාන්තය සමඟ රසායනික ද්‍රව්‍ය ජලයට මුසු නොවන්න අපට බොහෝ ප්‍රශ්න මගහරවා ගන්න තිබුණා.
    රජ රට ජනතාව අදත් වකුගඩු රෝගවලින් පීඩා විඳින්නෙ පිරිසිදු පානීය ජලය නොමැතිකමින්. රජ රට පමණක් නෙමෙයි දැන් තවත් පැතිවලට මේ ප්‍රශ්නය ව්‍යාප්ත වෙලා තියෙනවා.
    මිත්‍රවරුනි,

    අවශ්‍ය පිළියමක් නොදී, පිරිසිදු පානීය ජල ගැටලුව ගැන කිය කියා හිටියා කියලා ජනතාවට සෙතක් නොවන බව අපි තේරුම් ගත්තා.ඒ නිසාම අපි මේ ගැන හොයලා බැලුවා.
    කියන්නත් කණගාටුයි. ඒත් නොකියත් බැහැ. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ වාර්තාවන්ට අනුව පිරිසිදු පානීය ජලය ලැබෙන්නෙ අපේ රටේ ජනතාවගෙන් සියයට 50 කට වගේ අඩු පිරිසකට. එහෙනම් අපි දන්නවා අනිත් හැමෝම පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳිනවා.
    මට මතකයි පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙලාවේ දී ජනතාව පානීය ජල ප්‍රශ්නය ගැන අපට කෙළින්ම කිව්වා. ඔවුන් අපෙන් ඉල්ලා සිටියේ වෙන මොනවත් නෙමෙයි. බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න කියලා.
    ඒ නිසා 2025 වෙන කොට රටේ සමස්ත ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ජාතික වැඩපිළිවෙල සෞභාග්‍ය යේ දැක්මට ඇතුළත් කරලා, ප්‍රධාන ජල සම්පාදන යෝජනා ක්‍රම රැසක් රට පුරා ආරම්භ කරන්න අපි පියවර ගත්තා.අද ජනතා අයිතියට පත්වන්නෙ ඒවායින් තුනක් පමණයි.

    මේ ව්‍යාපෘති තුනෙනුත් කුරුණෑගල දැදුරුඔය ව්‍යාපෘතියට අපි මුල පිරුවේ බීමට පිරිසිදු ජලය නොමැතිකමින් උග්‍ර වකුගඩු රෝගයට ගොදුරුවී සිටින මහව සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 92 ක ජීවත්වන ජනතාව වෙනුවෙන්.
    කොරියානු රජය මේ සදහා අපිට රුපියල් මිලියන 8,901 ක ණය ආධාරයකුත් ලබාදුන්නා. ඊට අමතරව ශ්‍රී ලංකා රජය ඒ සදහා රුපියල් මිලයන 1326 ක් වැය කළා.
    ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය මෙහි ඉදිකිරීම් භාරගෙන නියමිත පරිදි අවසන් කළා.
    පවුල් විසිපන්දහසකට අයත් එක්ලක්ෂ විසිපන් දහසක් පමණ ජනතාවක් අද සිට මෙම ව්‍යාපෘතියෙන් පිරිසිදු පානීය ජලය ලබාගන්නා බව වාසුදේව ඇමතිතුමා,මට මතක් කළා.
    ඒ වගේම, අද ජනතා අයිතියට පත්වෙන කෑගල්ල ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමයෙන් තවත් පවුල් විසි දහසක ලක්ෂයක පමණ ජනතාවක් පිරිසිදු පානීය ජලය ලබාගන්නවා. ලෝක බැංකු සහය ඇතිව අපි ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 2300 ක් වැය කරලා තියෙනවා.
    තවත් රුපියල් මිලියන 325 ක් වැයකරමින් නිම කළ ගාල්ල හපුගල ජල යෝජනා ක්‍රමයත් ඒ වගේම වැදගත් ව්‍යාපෘතියක්.
    බෝපේ , පෝද්දල, හබරාදූව, අක්මීමන සහ හිනිදුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන දෙලක්ෂ පනස් දහසකට අධික ජනතාවකට එමගින් පිරිසිදු පානීය ජලය හිමිවෙනවා.
    මේ විධියට මේ අවුරුද්දෙ දි පමණක් නව ව්‍යාපෘති 33ක් හරහා නිවාස දෙලක්ෂ හතලිස් පන්දහස් පන්සීයකට අලුතින් ජල සැපයුම් ලබා දෙන්න ජල සම්පාදන අමාත්‍යංශ සූදානම්.
    වාසුදේව ඇමතිතුමා, සනත් නිශාන්ත රාජ්‍ය අමතිතුමා වගේම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මැතිතුමා ඇතුළු නිලධාරින් මට නිතරම කිව්වෙ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවත් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා කියලා.
    අපි දන්නවා රටක් විධියට අපි වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණදෙමින් සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යායුතුයි. වැරදි දේශපාලන තීන්දු නිසා එක් එක් කාලවල ආපස්සට ගිය රට නැවතත් ආපස්සට යෑමට අප ඉඩ තියන්නෙ නැහැ.
    මම දන්නවා මේ අමාත්‍යංශයේ ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින් හා විශාල සේවක පිරිසක් මේ කාර්යයට දැඩිව දායක වෙනවා. ඒ වෙනුවෙන් සේවකයින් දිරිමත් කිරීමේ වැටුප් වැඩිකිරීමකුත් පසුගියදා අප ලබාදුන්නා.

    ජනතාවට පිරිසිදු පානීය ජලය නිවසටම ගෙන එන්න රජයට විශාල මුදලක් වැය වෙනවා. ඒත් අපි අය කරන්නෙ ජල ඒකකයක් නිෂ්පාදනය කරන්න යන මුදලින් අඩකටත් අඩුවෙන් නිසා අපේ රටේ ජනතාව පානීය ජලය වෙනත් කාර්යයන් වලට යොදාගැනීමේ දී මේ ගැනත් හිතලා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.
    ඔබ සැමට තෙරුවන් සරණයි ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
    මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරුන්වන වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, දයාසිරි ජයසේකර, කනක හේරත්, තාරක බාලසූරිය, මොහාන් ප්‍රියදර්ශන, මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සුමිත් උඩුකුඹුර, වයි.ජී.රත්නසේකර,එස් හේරත්, මංජුලා දිසානායක, චරිත හේරත්, රාජිකා වික්රමසිංහ, චන්දිම වීරක්කොඩි, සම්පත් අතුකෝරල, ඉසුරු දොඩන්ගොඩ මහත්ම මහත්මීන් සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන් ජින් ජන්ග් මහත්වරු ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය බන්දු වික්‍රම ජලසම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග ප්‍රාදේශීය සභා සභාපතිවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya