පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල නව ජාතික රෝහලේ ඉදිකිරීම් ප්‍රගතිය අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට

    මැයි 23, 2021

    කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී සිය අවධානය යොමු කළේය.

    ඒ අනුව ඉඩම් පවරාගැනීම, ගොඩ කිරීම සහ නව රෝහලේ ඉදිකිරීම් කටයුතු ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා අදාළ පාර්ශවයන්ගෙන් තොරතුරු විමසා සිටියේය.

    සමස්ත ජනගහනයෙන් සියයට දහයක පමණ ජනතාවකට මෙම රෝහල ඔස්සේ සේවා පහසුකම් හිමිවන අතර කුරුණෑගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක පහක ජනතාව සෘජුව රෝහලේ ප්‍රතිකාර සේවා වලට යොමුවෙයි.


    අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි නව රෝහල ඉදිකරනුයේ සුවිශේෂ පහසුකම් ඇතුළත්වන පරිදිය.


    බස් රථයෙන් පැමිණෙන රෝගීන්ට වෙනම බස් සේවාවක් සහ රෝහල අභ්‍යන්තරයේම බස් නැවතුමක් ඉදිවීම, පළමු වතාවට රෝහලක් ආකර්ශනීය හරිත සංකල්පය යටතේ ඉදිකිරීම, ශික්ෂණ රෝහලක් මෙන්ම ශෛල්‍ය වෛද්‍ය, ළමා රෝග හා මාතෘ සේවාවල උසස් මට්ටමේ සේවා සැපයීම, කුරුණෑගල දිස්ත්‍රික්කය මෙරට වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශය හේතුවෙන් අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් සහිතව ඉදිකිරීම සහ රෝහලේ සිට අධිවේගී මාර්ගයට හා දුම්රිය ස්ථානයට සෘජු මාර්ග පහසුකම් සැලසීම ඒ අතර ප්‍රධාන වේ.


    අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව රෝහල ඉදිකිරීමට අදාළ සැලසුම සකස් කර තිබේ.
    කුරුණෑගල පළාත් රෝහලේ දැනට පවතින සේවාවන්ට බාධාවක් නොවන පරිදි නව ඉදිකිරීම් කටයුතු ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.
    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඔස්සේ නව රෝහලේ ඉදිකිරීමට අදාළ ගොඩකිරීම් මාස තුනක කාලයක් තුළ නිම කිරීමට සැළසුම් කර ඇති අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

    මෙම රෝහලට අමතරව වයඹ පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනයට මේ වසරේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 602ක් බව මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් විය.
    මේ අතර මෙම හමුවේ දී කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු කළ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයට එන්නත්කරණය කාර්යක්ෂම කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.


    පරිගණක යෙදුමක් මාර්ගයෙන් ඕනෑම පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයට එන්නත්කරණය පිළිබඳ දැනුවත් කෙරෙන වැඩපිළිවෙලක් සහ තාක්ෂණික භාවිතාවක්

    නොවන ජනතාවට තවත් වැඩපිළිවෙලක් ඔස්සේ මෙම කටයුතු ඉටු කිරීම හා ඒ සඳහා ප්‍රාදේශිය සංවර්ධන කමිටු හා අදාළ පාර්ශව සම්බන්ධ කරගන්නා ආකාරය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන බී.වයි.ජී රත්නසේකර, සුමිත් උඩුකුඹුර, සමන්ප්‍රිය හේරත්, චරිත හේරත්, මංජුලා දිසානායක, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එච් මුණසිංහ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.කේ රණවීර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya