පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    වෙසක් දින පණිවුඩය- සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

    මැයි 26, 2021

     

    වෙසක් දින පණිවුඩය- සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

    සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිගැන්වෙන වෙසක් මංගල්‍යය ලොව පුරා වෙසෙන බෞද්ධ සැමගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.


    ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැන දෙමින් වෙනදා ඉමහත් හරසරින් සමරන වෙසක් මංගල්‍යය මෙවර සැමරීමට සිදුව ඇත්තේ ලොව පුරා පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ය. ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගයකොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍යය වේ.

    බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කරගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණදී ධර්මානුකූලව ජීවත්වීම සඳහා මනා පිටුබලයක් සපයයි. උත්තරීතර බුදු දහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංහතියටම උරුම වූවකි. එහෙයින් ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩිදියුණුවීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑ අතර ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමට ද එය ඉවහල් විය.

    මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ශවත්ව පැවැත්වීමට නියමිතව තිබුණ ද පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුවේය. එසේ වුවද උතුම් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී නිවසේ සිට බැති සිතින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන්නැයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

    කොවිඩ් වසංගතය මුළු ලොවින්ම තුරන්වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගීමත්ව ජීවත්වීමට හැකිවේවා ! යැයි මෙම උතුම් වෙසක් දිනයේ ඔබ කරන ප්‍රාර්ථනාවට බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම ද එක්වෙමි.

    සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya