ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙල්බර්න් හි දී සංවිධානය කරන ලද මෙම “ලංකා තේ සන්ධ්‍යාවේ” දී කලාපීය රස වර්ග හතකින් ලංකා තේ හඳුන්වා දෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා මිතුරන්ගේ සම සභාපති ක්‍රේග් ඔන්ඩාර්චි මහතා, වික්ටෝරියානු බහු සංස්කෘතික කොමිෂන් සභාවේ සභාපති විවියන් න්ගුයෙන් මහත්මිය, ඕස්ට්‍රේලියානු අන්තර් සංස්කෘතික සංගමයේ විධායක අධ්‍යක්ෂ අහමෙට් කෙස්කින් මහතා, ඕස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරයේ හිටපු නියෝජ්‍ය සභාපති ඇන්ඩෘ ෆෙයාර්ලි මහතා, ඕස්ට්‍රේලියන් ටී මාස්ටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෂරින් ජොන්ස්ටන් මහත්මිය, තේ ආනයනකරුවන්, කොන්සියුලර් බලකායේ සාමාජිකයින්, බැංකුකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු මෙල්බර්න් හි කීර්තිමත් පුද්ගලයන් රාශියක් සහභාගී වූහ.
රැස්වීම අමතමින් වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිතුරන්ගේ සම සභාපති ක්‍රේග් ඔන්ඩාර්චි මහතා, තමා කුඩා කල සිටම ලංකාවේ තේ පානය කළ අතර, තේ සමඟ බහු සංස්කෘතික වික්ටෝරියානු සමාජය එකතු කිරීමට ලබා දුන් අවස්ථාව අගය කරන බව පැවසීය. කොන්සල් ජෙනරාල් කපිල ෆොන්සේකා මහතා විසින් ලංකා තේ ප්‍රවර්ධනය කරමින් වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කරන ලදී. ලංකා තේ භාවිතයෙන් සකස් කරන ලද අයිස් තේ සහ උණුසුම්ව සාදන ලද පිරිසිදු ලංකා තේ අමුත්තන්ට රස බැලීමසඳහා ලබා දෙන ලදී.
ඕස්ට්‍රේලියන් ටී මාස්ටර්ස් හි ප්‍රධාන විධායක නිලධාරිවරිය, ශ්‍රී ලංකාවේ කලාපීය තේ රසයන් හා රස බැලීමේ සැසියක් සූදානම් කළ අතර, ශ්‍රී ලංකාවේ තනි සම්භවයක් ඇති කලාපීය තේ වර්ග හතක් හඳුන්වා දුන්නාය. හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහතා පැමිණ සිටීම තේ සන්ධ්‍යාවේ දර්ශනීයභාවය සහ අලංකාරය වැඩිදියුණු කළේය. ඔහු තමාගේම සන්නාමයේ ලංකා තේ තෑගි වශයෙන් පිරිනැමීය. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිෂ්පාදිත විශේෂ තේ මුහුණු ආවරණ ද සහභාගී වූවන්ට පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ මෙල්බර්න් හි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු එස්. පී. මොහාන් මහතා, ඕස්ට්‍රේලියාව වෙත සහ ලොව පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් පිළිබඳ ඉදිරිපත් කිරීමක් කළේය.