රසායනික පොහොර ආනයනය, නතර කර තිබෙන පසුබිමක ඊට විකල්පයක් ලෙස මහවැලි කලාප වල කාබනික පොහොර නිෂ්පාදනය පුළුල් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම මහතා සඳහන් කරයි.
අධ්‍යක්ෂ ජනරාල් වරයා පෙන්වා දෙන්නේ, මහවැලි කලාප දහය ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් මහවැලි ගොවි ජනතාව ගේ කෘෂි කර්මාන්තය සඳහා වන කාබනික පොහොර අවශ්‍යතාවය සම්පුර්ණ කරගැනීමට අපේක්ෂා කරන බවයි.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා ගේ සහ මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා ගේ මඟ පෙන්වීම මත කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව හෙතෙම ප්‍රකාශ කරයි.
මෙම කාබනික පොහොර නිෂ්පාදනය එළඹෙන මහකන්නයේ කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමේ ඉලක්කය මත නිෂ්පාදනය කැරෙනු ඇත.
මහවැලි කලාප වලට අයත් කුඹුරු හෙක්ටයාර් එක්ලක්ෂ දස දහසක් සඳහා, කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ එකොලහක් දළ වශයෙන් අවශ්‍ය බව මහවැලි කෘෂි කර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
කාබනික වගාව යටතේ වී වගා කෙරෙන කුඹුරු හෙක්ටයාර් එකක් සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 10 ක් අවම ලෙස අවශ්‍ය බවට හඳුනා ගෙන තිබේ.
එම පොහොර අවශ්‍ය තාවය නිෂ්පාදනය කර ගැනීම අභියෝගයක් වුවද , එම ඉලක්කය වෙත ළඟා වීමට දැඩි පරිශ්‍රමයක් යොදා ඇතිබව ද හෙතෙම සඳහන් කරයි.
මහවැලි කලාප වල කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ දී එප්පාවල පොස්පේට් නිදියෙන් ලබා ගන්නා පොහොර සංගටක යොදා ගැනීමට ද අපේක්ෂා කරන බව මහවැලි කෘෂි කර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා කීය.
මේ අතර මහවැලි කලාප ගොවි පවුල් සම්බන්ධ කරගනිමින් ගෙවතු ලක්ෂ හතරක කාබනික පොහොර භාවිතා කර, වගාකටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතිබව ද හෙතෙම පෙන්වා දෙයි. ආක්කර කාලක ගෙවත්තක් මෙලෙස සංවර්ධනය කෙරෙන අතර
මේ සඳහා අවශ්‍ය කාබනික පොහොර ගෙවතු හිමියා විසින් සකස් කර ගත යුතුය. කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් විද්‍යත්මක දැනුම සහ අවබෝධය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ලබා දෙනු ඇත.
එම කාබනික වගා ගෙවතු වලින් නිෂ්පාදනය කෙරෙන එළවළු හා පලතුරු කොළඹ ඇතුළු නාගරික වෙළඳ පොළ කරා ගෙන ඒමට ද පියවර ගෙන තිබේ.
එක් වගා කන්නයක් සඳහා, පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 400 ක් පමණ වේ. ඒ අනුව කාබනික පොහොර භාවිතය රට තුළ ප්‍රචලිත කිරීම සඳහා රටේ ගොවි ජනතාව මෙහෙය වීමෙන්, විදේශයන් කරා ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගත හැකි වන අතර ම, වස විසෙන් තොර ආහාර පාරිභෝජනය කිරීමෙන් බෝ නොවන රෝගවලින් ජනතාව මුදා ගැනීමට ද, එය ප්‍රභල සාධකයක් වේ.