මෙවර ජගත් පරිසර දිනය සැමරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රධාන තේමාව ලෙස නම් කර තිබුනේ “පරිසර පද්ධතීන් ආරක්ෂා කරමු - Protect Our Ecosystem” යනුවෙනි.
නමුත් අපේ රටේ කොවිඩ් 19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් පරිසර අමාත්‍යාංශය වශයෙන් අපි “හුස්ම පොදයි - පරිසරයයි” නමින් වැඩ සටහනක් සකස් කළේ ය.
විශේෂයෙන් ජගත් පරිසර දිනය යෙදී තිබුනු ජුනි මස 05 සහ 06 යන දින දෙක තුළ ගෙවතු පිරිසිදු කිරීමේ පැය 48ක කාලයක් අපි ප්‍රකාශයට පත් කළා. විශේෂයෙන්ම එම පියවර ගත්තේ මේ දිනවල අපේ රටේ සියලු ජනතාව කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සංචරණ සීමා හේතුවෙන් නිවෙස් තුළ රැඳී සිටින නිසයි. ඩෙංගු මර්දනය සඳහා එම දින දෙක තුළ තම නිවාස පරිශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙස අපි ඉල්ලීමක් කළා. ඒ අනුව අපිට ලැබී තිබෙන තොරතුරු අනුව රටේ ජනතාව බහුතරයක් මෙම වැඩ පිළීවෙළට එකතු වී තිබෙනවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ,(05) අගුණකොළැපැලැස්ස පිහිටි තම නිවස හා ගෙවත්ත පිරිසිදු කිරීමේ වැඩ සටහනට සහභාගි වෙමිනි. එහිදී අමාත්‍යවරයා තම ගෙවත්ත හා අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂාවට ලක් කළේය. එමෙන්ම ජගත් පරිසර දිනය සමරමින් තම ගෙවත්තේ අඹ පැළයක් ද රෝපණය කළේය.
මිනිස්සු සීමාවක් නැතිව පරිසරය විනාශ කිරීමේ ප්‍රතිපල අද ඔවුන්ටම විඳින්නට සිදුවී තිබෙනවා. සොබා දහම කියන්නේ අපුරු දෙයක්. සොබා දහම කිසි විටෙක අසාධාරණ නැහැ. හැමටම සාධාරණ ලෙස සළකනවා. මිනිස්සු
හිතාගෙන ඉන්නේ මහපොළව අයිති ඔවුන්ට කියළයි. නමුත් මහපොළවේ අයිතිය තියෙන්නේ මිනිසාට වඩා අනෙකුත් සතුන්ට. මිනිසා විසින් එම සියලු ජීවින්ට කෘර ලෙස සැළකීමේ වන්දිය අද මිනිසාටම ගෙවන්න වෙලා තියෙනවා.
ඩෙංගු රෝගය කියන්නේ පාරිසරික ගැටළුවක්. ඒ වගේම තමයි ලෝකය පුරා මාරාන්තික රෝග රැසක් තිබෙනවා. සාර්ස්, ඉබෝලා වැනි රෝග මෙන්ම වර්තමානයේ මුළු ලෝකයම දින නියමයක් නැතිව වසා දමන්නට සමත්ව
තිබෙන කොවිඩ් වයිරසයත් සොබා දහම විසින් මිනිසාට දුන් දඩුවමක්.
පසුගියදා අපේ මුහුදු සීමාවේ දී නැවක් ගිනි ගත්තා. ඒ මගින් ඉදිරියේ දී සිදුවිය හැකි පාරිසරික හානිය කිසිවෙකුටත් කළීන් ම පුරෝකථනය කළ නොහැකියි. මිනිසාට මෙන්ම සියලු ජීවින්ට බලපාන විෂ සහිත ද්‍රව්‍ය රැසක් එම නෞකාවේ තිබුනු බව දැන් හෙළීදරව් වී තිබෙනවා. ඒ වගේම ටොන් 300කට ආසන්න ඉන්ධන ප්‍රමාණයක් සහිතව තමයි එම නැව ගිනි ගෙන මුහුදුබත් වුනේ. යම් හෙයකින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් අපේ සාගරික පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය ඉතා විශාලයි.
රජය විසින් ඊට මුහුණ දීමට පියවර කිහිපයක් අරගෙන තිබෙනවා. නමුත් කුමන පියවර ගත්තත් සිදුවිය හැකි පාරිසරික හානිය වැළැක්විය නොහැකියි. ඒ වගේම ඉදිරි මාස දෙක තුළ ඩෙංගු රෝගයත් හිස එසවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. හැම දෙයක්ම රජයට පවරා නිහඩව සිටිය යුතු නැහැ.ඩෙංගු රෝගය මර්දනයට ජනතාවටත් වගකීමක් තිබෙනවා. තමන් ජීවත් වෙන නිවෙස, ගෙවත්ත පැය දෙක තුනක් මහන්සි වී පිරිසිදු කර ගැනීම මගින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කළ හැකියි.
ඩෙංගු මර්දනයට ජනතාවගේ සියයට සියයක දායකත්වය අවශ්‍යයි. නිවාස සියයකින් 99 ක්ම පිරිසිදු කර එක් නිවෙසක් තම වගකීම පැහැර හැරියොත් එතැනින් අනෙක් සියලු දෙනාට ඩෙංගු බෝවිය හැකියි. ඩෙංගු මදුරුවාගේ තර්ජනය අපිට බලපෑවේ 2009 සිට. මේ රෝගය ඉන් පෙරත් තිබුනා. නමුත් තවමත් අපිට මෙම රෝගය මුළුමනින්ම පාලනය කරන්න බැරිවී තිබෙනවා. එමනිසා සියලු දෙනාම ඩෙංගු රෝග මර්දනය සඳහා පියවර ගත යුතුයි.
යම් හෙයකින් කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙන්ම ඩෙංගු රෝගයත් හිස එසවුවහොත් එය අපේ සෞඛ්‍ය අංශවලට දරාගන්නට බැරිවේවි. ඒ නිසා මේ දිනවල නිවෙස්වලට වී සියලු දෙනා තම ගෙවත්ත අවට පරිශ්‍ර පිරිසිදු කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.