ඔහු මේ බව පැවසුවේ අද දින (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී හරිත ආර්ථිකය කුමක්ද සහ කුමකටද යන මැයින් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
හරිත යන වචනය හරිත විප්ලවය ආදිය යොදා ගනිමින් මින් පෙර වැරදියට භාවිතා කළ අතර මෙහිදී කතා කළ යුත්තේ තිරසාර සංවර්ධනය එනම් මිනිසුන්, භූමිය සහ පරිසරය රැකගනිමින් සංවර්ධනය කරා යාම සිදුකළ යුතු බවද හරිත විප්ලවය තුළින් රසායනික ද්‍රව්‍ය ජලයට, පසට සහ ආහාර වලට එක්වීමෙන් ගොවියා මෙන්ම සාමාන්‍ය ජනතාව රෝගීන් වීම පිළිබදවද මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.
ලොව සිදුකර ඇති පර්යේෂණ අනූව ඉදිරියට අනාගතයේ ඉපදීමට සිටින දරුවන්ගේ ආයු කාලය දැන් ජීවත්වන පරම්පරාවට සාපේක්ෂව අඩු බවද, එනම් 2025 වන විට ඉපදෙන දරුවන්ගේ ආයු
කාලය අවුරුදු 40 – 45 අතර බව සොයාගෙන ඇති බවද ඔහු පැවසුවේය.
2008 වසරේ අධ්‍යයනයට අනූව ලංකාවේ දියවැඩියා ප්‍රවනතාවය 20%කි. 2012දී එම ප්‍රවනතාවය 26%ක්ද, 2019දී කොළඹ නගරයෙහි ජනතාවගේ ස්ඨූලභාවය 59%ක් බවද දියවැඩියාව, වකුගඩු රෝගය ආදිය මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තව ඇති බවද, හරිත විප්ලවය ඔස්සේ එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල සිට මෙරට වසවිස කෑම ඇරඹි බවද සිහිපත් කරමින් ඔහු පැවසුවේ පරීක්ෂණ වාර්තාවකින් සොයාගෙන ඇත්තේ බටහිර කලාපයේ දරුවන්ට සාපේක්ෂව ආසියානු කලාපයේ දරුවන් ඉක්මණින් මියයාමේ ප්‍රවණතාවය පස් ගුණයකින් වැඩි බවයි.
පසුගිය වකවානුවේදී ආහාරයට වඩා ව්‍යායාම වැදගත් බව මතයක් ජනතාව අතර පැවති බවද, එය වැරදි මතයක් වන අතර ආහාර සහ ව්‍යායාම යන දෙකම පුද්ගලයෙකුට වැදගත් වුවද, වැඩි අවදානයක් ආහාර සදහා යොමුකළ යුතු බවද, මේ වන විට අනවශ්‍ය ආහාර රැසක් අපගේ ආහාර රටාවට එකතු වී ඇති බවද, රට තුළ නිවැරදි ආහාර සංස්කෘතියක අවශ්‍යතාවය මෙවැනි වකවානුවක අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අවධාරණය කළේය.
වසර හැට පහක් තිස්සේ වස විස ආහාරයට ගනිමින් සිදුකළ කුරිරු ආහාර යුද්ධයට තිත තැබීමට කාලය එළඹ ඇති බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රසායනික පොහොර ආනයනය නතර කරමින් කාබනික පොහොර රට තුළ ප්‍රචලිත කර ගැනීම සදහා ජනාධිපතිතුමන් විසින් ගෙන ඇති පියවර අගය කළ යුතු බවයි.
වස විසෙන් තොර රටක් බිහිකර ගැනීම සදහා සිදුකළ මෙම කාබනික පොහොර භාවිතය හේතුවෙන් අනාගතයේදී රට සාගතයකට මුහුණපාවි දැයි බොහෝ පුද්ගලයන් තුළ බියක් ඇතැයිද, එලෙස කිසිදු සාගත තත්ත්වයකට යාමට අප රටට සිදුනොවන බව පැහැදිලිවම කිය යුතු බවද, මෙම රට පින් බිමක් බවද, මෙහි කිසිම ආහාර අහේනියක් සිදු නොවන බවද, ධාන්‍ය එළවලු ආදියෙහි පරිභෝජන සහ අපතේ යැවුණු ප්‍රමාණයන් වල දත්ත විශ්ලේෂණය කරමින් වෛද්‍යවරයා මෙම කරුණ තහවුරු කළේය.
අප රටේ ගොවියා නිරෝගී ගොවියෙකු කළ යුතු බවද, කාබනික වගාව හේතුවෙන් අසුවැන්නෙහි කිසිදු අඩුවවක් සිදුනොවන බවද, ඇතැම් කාබනික වගා වල අස්වැන්න විශ්ලේෂණයේදී සිවුගුණයකින් වැඩි අස්වැන්නක් ලැබී ඇති බවද ඔහු පැවසුවේය.