අප රටට ළමා ශ්‍රමය කිසිසේත්ම අවශ්‍ය නොවන බවත්, ළමා ශ්‍රමය යොදාගැනීමට තරම් මෙරට ශ්‍රම බළකායේ හිඟයක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බළකාය තුළ රැකී රක්ෂා නොමැති පිරිස් බොහෝ
සිටින බැවින් ඔවුන්ව ඒ සඳහා යොදවා ගත හැකි බවත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11) කියා සිටියේය.
ජුනි මස 12 වන දින වාර්ෂිකව යෙදෙන ලෝක ළමා ශ්‍රම විරෝධී දින මුල් කරගනිමින් කම්කරුඅමාත්‍යංශය යටතේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමිව (11) පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ලෝකයේ ළමා ශ්‍රමය වැඩි වීමේ ප්‍රවණතාවය සැළකිල්ලට ගෙන එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයේම රටවල් වලට අභියෝගයක් බවට පත් ව තිබෙන විටෙක, මෙරට පත්වෙන සෑම රජයක් මඟින්ම අනුගමනය කරන ප්‍රතිපත්ති තුළ ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දක්නට ලැබෙන අතර, ළමා ශ්‍රම අනුපාතිකය ජනගහනයට අනුව ඉතාම අඩු අගයක් ගනු ලබන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.
එමෙන්ම, ලොව අන් රටවල් හා සැසඳීමේ දී ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව කීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙන බවත්, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ විවිධ නිර්ණායක ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අග්නිදිග ආසියාවේ පමණක් නොව ලෝකයේ ම ඉතාමත් ඉදිරියෙන් තිබෙන රටක් බවත් මෙහි දී ප්‍රකාශ කළ ඒ මහතා, එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ළමා ශ්‍රමය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමේ කාර්යය සඳහා වූ ඒ අභියෝගය භාර ගැනීම සඳහා රටක් වශයෙන් සිදු කළ යුත්තේ කුමක් ද යන්න සහ නිසි වැඩපිළිවෙල් සහිතව ක්‍රියාත්මක විය යුතු බව ද මෙහි දී අවධාරණය කර සිටියේය.
ඒ අනුව, මෙවර වර්ෂය වඩාත් අර්ථවත් කර ගනු වස් ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය ලෙස 2021 වසර නම් කර තිබේ. මේ වන විට ස්ත්‍රීන්, තරුණ පුද්ගලයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත සංශෝධනයට පත් කොට අවුරුදු දාහතරක් ව තිබුණු ළමයින් සේවයේ යෙදවිය හැකි වයස අවුරුදු 16 දක්වා වැඩි කරවීමටත්, එමෙන්ම, අධ්‍යාපන ක්‍රමයේ අවුරුදු 16 දක්වා අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයක් ළමයින්ට ලබා දිය යුතුයි යන්න නීති ගත කොට තිබේ.
මෙරට විවිධ කර්මාන්ත අංශ වලින් ළමා ශ්‍රමය යොදා ගන්නා බවට විවිධ පැමිණි ලැබී ඇති නමුත්, මෙම ළමුන් යොදාගැනීම හා පාදක වූ සමාජීය හා ආර්ථික පසුබිම කවරේ ද යන්න ප්‍රථමයෙන් විමසා බැලිය යුතු වන අතර ඊට පිළිතුරක් ලබා දීමට කටයුතු කළ යුතු වේ.
එහෙත්, මෙම සමාජ සාධකයන් සඳහා නිසි පිළිතුරක් ලබා නොදී හුදෙක් නීති පැනවීමෙන් පමණක් ළමා ශ්‍රමය මෙරටින් තුරන් කිරීමේ කටයුත්තතේ ප්‍රතිඵල ලබා ගත නොහැකි බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා, ළමයින්ට අධ්‍යාපනය ලබා දීමේ වටිනාකම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇති කිරීම, අධ්‍යාපනය දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් බව පැහැදිළි කොට එම අයිතිවාසිකම රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම, වැනි කරුණු පිලිබදව පුළුල් ප්‍රචාරයක් හා දැනුමක් ලබා දිය යුතු බව ද, ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව වඩාත් පුළුල් ව අවතීර්ණ විය යුතු බව ද ප්‍රකාශ කරන ලදුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමෘද්ධි දෙපාර්තමේන්තුව වැනි අංශ වලට ද මෙහි විශාල වගකීමක් තිබෙන බවත්, සමෘද්ධි ප්‍රතිලාභ ලබා දෙන පවුල් වල දරුවන් කිසිසේත්ම ළමා ශ්‍රමය සදහා යොදවා නොගත යුතුයි, යෙදවීමට ඉඩකඩ නොතැබිය යුතුයි යන කොන්දේසියක් බවට පත් කර ගත යුතු බවත් විශේෂයෙන් සඳහන් කර සිටියේය.
පවත්නා Covid-19 වසංගත තත්ත්වය නොතිබිණි නම් මීටත් වඩා ළමා ශ්‍රමය මැඩලීම උදෙසා ක්‍රියාත්මක වැඩකටයුතු සිදු කළ හැකි ව තිබුණ අතර, එනිසා ළමා ශ්‍රමය සිදුවෙන අවස්ථා පිලිබඳ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ඇති අවස්ථාව නිළධාරීන්ට සීමා වී තිබෙන බව ද කියා සිටියේය.
කෙසේවුව ද, සෑම ක්ෂේත්‍රයක් පාහේ ම ළමා ශ්‍රමය යොදවා ගැනීම වළක්වාලීම පිළිබඳව නැවතත් අලුතෙන් සිතිය යුතු කාලය එළඹ තිබෙන බව සිහිපත් කළ ඒ මහතා, නියමිත කාල සිමාව තුළ දී මෙරටින් ළමා ශ්‍රමය තුරන් කළ රටක් බවට පත් වීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති, කම්කරු දෙපාර්තමේන්තුවේ අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් එච්. කේ.කේ.අශෝක ජයසුන්දර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂිකා Simrin Singh, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් සුලාරි ජයවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.