ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගම්පහ පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නැවත ගංවතුර තත්ත්වයක් ඇතිවීම වළක්වීම සඳහා හැකි ඉක්මනින් ජලය බැස යන ජල බස්නා, ඇළවේලි සුද්ධ පවිත්‍ර කළ යුතුව ඇතැයි මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර එම වැඩපිළිවෙළ හෙට සිට අරඹන ලෙස වාරිමාර්ග, මහා මාර්ග හා ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන වල සහය ලබා දෙන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැන්වීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ නැවත මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගතයුතු දීර්ඝකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් නමුත් ඊට ප්‍රධාන හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නොවන බව මහාමාර්ග හා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථා නිලධාරීහු කීහ.
නමුත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා සකස් කර ඇති සේවා සැපයුම් මාර්ගවලින් යම් බලපෑමක් සිදු වූ බව බවද පෙන්වාදුන් නිලධාරීන් සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග එම සේවා සැපයුම් මාර්ග ඉවත් කරන බැවින් ඉදිරියේදී එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ ජල බස්නා ස්ථාන ඇතුළු ජල බස්නා හා ඇළ වේලි වසර දහයකට ආසන්න කාලයක් සුද්ද පවිත්‍ර නොකිරීම මෙම තත්ත්වයට දැඩිව බලපා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැස යන අත්තනගලු ඔය, දී ඇලි ඔය, ඌරුවල් ඔය යන ප්‍රධාන ඇළ මාර්ග සහ යාරුඇල, කලු ඇල ආදී ජල බස්නා මේ අතර ප්‍රධාන තැනක් ගනී.
සමහර ස්ථානවල ජලය බැස යාමට තරම් ප්‍රමාණවත් ජල බස්නා නොමැති කමද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද එම නිලධාරීහු පෙන්වා දුන්හ
ගංවතුර තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර අධිවේගී මාර්ගයේ පෙර සැලසුම අනුව යමින් කුළුණු මතින් අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිතව තිබූ ස්ථාන ඒ අයුරින්ම ඉදි කිරීම සුදුසු බව ඔවුහු පැවසූහ.මේ සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු ආණ්ඩුව නොමඟ යැවීම සඳහා හේතුවී ඇතැයි ද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ
මේ වන විටත් අධිවේගී මාර්ගයේ සැලසුම නැවත සමාලෝචනය කිරීම අරඹා ඇති බැවින් අවශ්‍යතාවය අනුව ඉදිරියේදී එවැනි පියවර ගැනීමට වුවද රජය සූදානම් බව මෙහිදී මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතුව ඇති බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉදිරි සති දෙකක කාලය ඇතුළත ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු දීර්ඝකාලීන වැඩපිළිවෙල සකස් කර ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම සති දෙකක කාලය අවසන් වූ වහාම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කර ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරන දීර්ඝකාලීන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 422කට මෙවර ගංවතුර තත්ත්වයෙන් බලපෑම් ඇතිවිය. පවුල් 39742 ක පුද්ගලයින් 161383ක් පීඩාවට පත්වූ අතර මරණ දෙකක් වාර්තා විය.
ග්‍රාම නිලධාරී වසම් 32ක තවමත් ගංවතුර තත්ත්වය පවතින අතර එම ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 3195ක පුද්ගලයින් 12544 ක් සඳහා සහන සැලසීම නොකඩවා සිදු කෙරේ. ඒ සඳහා ඉකුත් සතිය තුළ රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වැය කර තිබේ.